Search This Blog

Thursday, October 12, 2017

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය



රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන රටාව තුළදී දරුවා ගැන සිතීමට දරුවාටවත්, දෙමව්පියන්ටත්, ගුරුවරුන්ටත් අමතකව ගොස් ඇත. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය ක්‍රමයක් බිහිවී තිබීමත් ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය බිඳ වැටී තිබීමත් මේ සඳහා ප්‍රධාන හේතුව බවට පත්ව ඇත. තරඟකාරී අධ්‍යාපන රටාව තුල ළමා මනස අමතක කොට දමා ඇත. ඒ වෙනුවට ආරුඪ කරගත් කාර්යබහුලත්වය දරුවාට ද ආරෝපණය කර ඇත. ළමයෙකුකුඩා වයසේ සිටම තම ඉගෙනීමේ කටයුතු ආරම්භ කරන්නේ සොබාදහමත් සමඟ මුසු වීමෙනි. පරිසරය සමඟගැවසෙමින් සමාජානුයෝජනය ලබා ගන්නා දරුවා තම ආච්චි සීයා සමඟ කාල ගත කිරීමෙන්, මිතුරන් සමඟ සෙල්ලම් කිරීමෙන් බොහෝ දේ ඉගෙන ගනී. නමුත් අද දරුවාට ඒ සඳහා අවස්ථාවන් අහිමිව ගොස් ඇත. සමාජ පද්ධතියක් තුල ජීවත් වීම සඳහා මෙම ක්‍රියාවලීන් සමඟ බද්ධ වීම සිදු විය යුතුය. එසේ නොවුවහොත් පරිපූර්ණ මිනිසෙකු රටට බිහි නොවේ.

අප රට තුල ළමා කාලය, ළමා මනස තීරණය කරනුයේ ප්‍රධාන විභාග තුනකිනි. එහි මුල් අවස්ථාව වන්නේ 5 ශ්‍රේණියෙහි ශිෂ්‍යත්ව විභාගය. ශිෂ්‍යත්ව විභාගය දෙමාපියන්ගේ විභාගයක් වන තරමටම අර්බුදයක් නිර්මාණය කොට හමාරය. උදෑසනම පාසල, ඉන්පසුව රාත්‍රීය වන තෙක් පෞද්ගලික පන්ති වලට කාලය කා දම. දරුවන්ට හුස්ම ගැනීමටවත් වෙලාවක් නැති තරම් වැඩය. එහිදී දෙමාපියන් දකින්නාවූ සුබ සිහිනය වන්නේ ජනප්‍රිය පාසලකට දරුවාව ඇතුලත් කරගැනීම. එම සිහිනය සැබෑ කර ගැනීමට දරුවා නොමරා මරති. විභාගය සමත් වූවා හෝ නොවූවා කෙසේ හෝ ඊළඟ ශ්‍රේණියේ සිට නැවත පෞද්ගලික පන්ති ගෙන යාම අරඹයි.  දරුවාද සිලබස් ගත ජීවිතයකට හුරුවෙයි. ඉන්පිට දෙයක් කිරීමට දරුවාටද වෙලාවක් නැත.  දරුවාට දරුවාද අමතකව යයි. ඉරිදාට දහම් පාසල් යාමටවත් දරුවාට වෙලාවක් නැති තරමටම ටියුෂන් පන්තිය. ඉන්පසුව බුද්ධධර්මයල සිංහල වැනි විෂයන් සඳහාද උපකාරක පන්තියේ සහය පතයි. කෙසේ හෝ සාමාන්‍ය පෙළ විභාගය සමත් වන දරුවා ඉන්පසු ජීවිතයෙහි කඩඉම වන්නේ උසස් පෙළ විභායගයයි. එහිදී වැඩියෙන් කටපාඩම් කළ හැකි අය දක්ෂයන් ලෙස සරසවියට යති. එතැනදී ද කටපාඩමින් තම විභාග ජයගනිති. නමුත් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය හීන වී ගොස්ය. අධ්‍යාපනයෙහි මූලීක අරමුණු අතර හොඳ රැකියාවක් ලබාගැනීමේදී අධ්‍යාපන සහතිකයට වටිනාකමක් අද වන විට හිමි නොවීමට හේතුව වන්නේ මෙම සිලබස්ගත අධ්‍යාපන ක්‍රමයයි. ඔවුන්ට ප්‍රායෝගිකව ක්‍රියාකිරීමේදී ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ.

ලෝකයත් සමඟ ඉදිරියට යාමේදී ගුණාත්මක අධ්‍යාපන ක්‍රමය තුලින් බිහිවන ස්වාධින හා නිර්මාණශීලී මිනිසා ගැටලු රාශියකට පිළිතුරකි. අධ්‍යාපනයෙහි මූලික අරමුණු වන දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය වත්මන් අධ්‍යාපන රටාව තුල අමතක කර දමා ඇත. අධ්‍යාපනයෙහි උපරිම ඵල භුක්ති විදීමට නම් වර්තමාන අධ්‍යාපන රටාව වෙනස් වීම අත්‍යාවශ්‍ය සාධකය. අධ්‍යාපනය තුල අවසාන පරමාර්ථය විය යුත්තේ හුදෙක් විභාග සමත් දැනුමකින් යුක්ත පිරිසක් බිහි කිරීම නොව යහපත් සමාජයක් ගොඩ නැගීම සඳහා විචාරශීලී බුද්ධියකින් යුක්ත පිරිසක් අධ්‍යාපන ක්‍රමය තුලින් බිහි කිරීමයි.

එස්.ඩී.ආර්.මධුවන්ති

කැළණිය විශ්ව විද්‍යාලය

Friday, August 18, 2017

පින්ක් චිත්‍රපටය හා කාන්තාව.................


පින්ක් යනු අනුරුද්ධ රෝයි චෞද්‍රි විසින් 2016 වර්ෂයේදී ප්‍රේක්ෂක අභිමුඛ තබන ලද සිනමා සිත්තමකි. මෙම සිනමා සිත්තම දැඩි සමාජ විවරණයක් සහිතව ඉදිරිපත් කොට ඇති විශිෂ්ට නිර්මාණයකි. විශේෂයෙන්ම පුරුෂාධිපත්‍ය සහිත සමාජයක් තුළ කාන්තාවට හිමි විය යුතු සම අයිතිවාසිකම් පිළිබඳව මෙම නිර්මාණය තුළ ප්‍රබලව දැකගත හැකිය. මෙම චිත්‍රපටය තුළ කේන්ද්‍රගත වන්නේ උසාවියක්, නඩුවක් හා නීතිමය ප්‍රශ්න කිහිපයක් වටාය.


දිල්ලියේ සැපපහසු වටපිටාවක කුලී නවාතැනක සිටින, රැකියාවල නිරත, නිදහස් තරුණ ගැහැණුන් තිදෙනෙකු හා කුහකත්වයෙන් හා ආත්මාර්ථයෙන් යුත් පිරිමි කිහිප දෙනෙකුත් තමන්ගේ සමාජ ක්‍රමය නිසා පත්වන අවසානාවන්ත තත්ත්වයත්, බුද්ධියත්, මනුෂ්‍යත්වයත්, නීතියත් නිසා කන පිට පෙරෙළෙන එසේ සමාජය වෙනස් විය යුතුයි යන්න පෙන්නුම් කරන සිනමා පටයක් ලෙස
පින්ක්හඳුනාගත හැකිය. කාන්තාවක් ලෙස  සමාජය තුලදී පුරුෂයා මෙන් නොව කාන්තාවට වරදිකාරියක් කිරීම පහසු බව මෙමඟින් පෙන්වා දී ඇත. කාන්තාවකගේ ගමන බිමන ඇයගේ ඇදුම පැළදුම කෑම බීම ඇය වැරදිකාරියක් කිරීම සඳහා හේතු වන බව මෙම සිනමා සිත්තම තුළින් පිළිබිඹු කරයි. කාන්තාවත් ලෙස රාමුගත වූ ජීවිතයකට හිමකම් කියන්නාවූ සමාජ ක්‍රමයක් තුළ ඇය එම සීමාවන් අතික්‍රමණය කිරීම හේතුවෙන් කෙතරම් ගැටලු සිදුවේද යන්න පිළිබඳව ඉතා විචාරත්මක ඇසකින් මෙන්ම කාන්තා දෘෂ්ටි කෝණයකට අනුව නිර්මාණය වී ඇත.

පින්ක් යන වචනාර්ථයෙන්ම එහි ගැබ්ව ඇත්තේ කාන්තාව යන්නයි. උපතේ දීම කාන්තාව සඳහා නියම කරන ලද වර්ණය වන්නේ රෝස වර්ණයයි. එසේම එම වර්ණය හා කාන්තාව හා සමඟ විශාල සම්බන්ධතාවක් පවතී. උපතේදී ගැහැණු දරුවෙකු ඉපදුන හොත් රෝස පැහැයත් පිරිමි දරුවෙක් ඉපදුන හොත් නිල් පැහැයත් තීරණය වීම සම්ප්‍රදායික පිළිගැනීමයි. මෙම චිත්‍රපටය කේන්ද්‍රගත වන්නේ කාන්තාවන් තුන් දෙනෙකු වටා සිදුවන්නාවූ සිද්ධි දාමයකි. කාන්තාවක් වශයෙන් සමාජ ක්‍රමය තුළ අසරණභාවයට පත්වීම පිළිබඳව එහිදී වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් කරයි.

පින්ක් තුළ ඉස්මතු කර පෙන්වන්නේ නූතනත්වය සමඟ කාන්තාවගේ වෙනස්වීම් හේතුවෙන් මතුවන්නා වූ ගැටලු කිහිපයක් පිළිබඳවයි. එහිදී ඇයට අවශ්‍ය ආකාරයෙන් ඇදුම ඇඳීම, ගමන් බිමන් යාම මෙහි රාමුගතවීමක් සිදුව ඇති ආකාරය හඳුනාගත හැකිය. ෆ්ලැට් එකක් තුළ නිදහසේ ජීවත්වන තරුණ ගැහැණු ළමුන් තුන් දෙනෙකු හා සල්ලිකාර පිරිමි ළමුන් තිදෙනෙකු වටා ගෙතී ඇත. මෙම තරුණ ගැහැණු ළමුන් තුළ ඇති සම්බන්ධතා විවිධ වන අතර ඇතැම් විට සමාජ අසම්මතයන් ලෙසද කෙනෙකුට දැකිය හැකිය. මෙහිදී

-           මිනල්
-           ෆලක්
-           ඇන්ඩ්‍රියා  යන චරිත තුන හදුනාගත හැකිය.

මෙහි දී ෆ්ලැට් එකෙහි නිදහසේ ගත කරන තරුණියන් තිදෙනා රාත්‍රියෙහිදී පාටියක් සඳහා සම්බන්ධ වන අතර එහිදී අඳුරගනු ලැබූ පිරිමි ළමුන් තිදෙනෙක් සමඟ ඔවුන් සමඟ හෝටලයකට යන අතර ඔවුන් සමඟ මත් ද්‍රව්‍ය භාවිතා කරමින් සතුටින් කාලයගත කරනවා. එහිදී එම තරුණ පිරිස විසින් එම තරුණියන් අතපත ගෑමද සිඳුකරයි. මේ අතර එක් එක් තරුණයන් එක් එක් තරුණිය සමඟ විවිධ කාර්යයන් සඳහා එම කාමරයෙන් පිටතට පැමිණෙන අතර මිනල් නම් තරුණිය සමඟ එක් තරුණයෙකු එම කාමරය තුළ තනිවේ. එම තරුණයාද දේශපාලන වශයෙන් ශක්තිමත් පියෙකුගේ පුතෙකි.එම නිසා ඔහු මුදල් අතින්ද ඉතා ඉහළින් සිටී. මෙහිදී මිනල් සමඟ ලිංගිකව එක් වීමට උත්සාහ කරන අතර ඇය එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔහු ඇයට දිගින් දිගටම ලිංගික කාර්යය සඳහා පොළඹවා ගැනීම සඳහා කටයුතු කරනවා. එම ප්‍රතික්ෂේප කිරීම ගැන තැකීමක් නොකර  ඇය සමඟ සිටීමට උත්සාහ කිරීම හේතුකොට ගෙන ඔහුගෙන් මිදීම සඳහා අතට අසුවන බෝතගයෙන් ඔහුගේ ඔලුවට ගහනවා. එම සිදුවීමත් සමඟ තරුණියන් තිදෙනා එම ස්ථානයෙන් පැන ටැක්සියකින් තමා සිටින ෆ්ලැට් එකට නැවත එනවා. මෙම සිදුවීම් පෙළ ආරම්භයේදී නොවන අතර කිසිවෙකුටත් සිතාගත නොහැකි ස්ථානයකින් කතාව ආරම්භවේ.

සිතාගත නොහැකි ආකාරයට ඔලුවෙන් ලේ වහනය වන එක් තරුණයෙකු කාරයෙහි නංවාගෙන ඔහුගේ යාලුවන් කිහිපදෙනෙකු රෝහල වෙත යයි. එම ස්ථානයෙන් කතාව ගලා යාම ආරම්භ කරයි. එතැන් පටන් ආරම්භ කරන කතාව තුළ ඇත්තේ අනෙක් ප්‍රස්තුතයන් සම්බන්ධ කර කතාව ඉදිරියට ගෙන යයි. ඉන්පසුව තරුණ ගැහැණු ළමුන් තිදෙනාව පෙන්නුම් කරන අතර ඔවුන්ගේ බිය මුසු මුහුණු කිහිපය තුළින් යම්කිසි ගැටලුවකට මුහුණ පා ඇති බව කියාපායි. ප්‍රේක්ෂකයාද මෙසේ වීම සඳහා හේතු සොයයි.

මෙම සිදුවීම් සමුදායත් සමඟම මෙම තරුණ පිරිස මෙම කානතාවන් පසු පස පන්නමින් තර්ජනය සිදු කරනවා. එහිදී ඔවුන් විසින් විදින්නාවූ වේදනාවන් සිනමා සිත්තම තුළ මනාවට නිර්මාණය කොට ඇත. කාන්තාවක් ලෙස සමාජය තුළ මුහුණ දිය නොහැකි ආකාරයට ඔවුන්ට මෙම සිදුවීමත් සමඟ මුහුණ දීමට සිදුවෙනවා. ෆලක් සේවය කරනු ලැබූ ස්ථානයෙන් ඇයට ඉවත් වීමට සිදුවනවා. ඒ සඳහා හේතු වූයේ ඇයගේ නිරුවත් වූ ඡායාරූපයක් එම තරුණ කණ්ඩායම විසින් එම ආයතනයෙහි ප්‍රධානියා අතට පත් කිරීමත් සමඟයි. එහිදී ඇය සමාජ මාධ්‍ය තුළ ඇයගේ එම ඡායාරූපය පළ කරමින් ඇයට බලපෑම් සිදුකරන ලදි. එහිදී ඇයට ආයතනයෙන් ඉවත්වී යන ලෙස ආයතන ප්‍රධානියා විසින් පවසයි. එහිදී ඇයට ආයතනයෙන් ඉවත්ව යාමට තරම් විශාල තර්ජනය ඔවුන් විසින් සිදු කරන ඇත. ඇය දෙස ආයතනයෙහි අනෙක් පිරිමින් ඇය දෙස ඔරොප්පු බැල්මක් හෙලන ලද්දේ ඔවුන්ගේම එකෙකු මෙය සිදුකළ බව නොදැන විය හැකිය. ඇය නිර්දෝෂී වුවත් ඇයට තමාගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට තරම් සාධක නොමැති විය. ඇයට එම ආයතනයෙන් ඉවත්වීමට සිදුවිය.

ඇයට මෙම කරදර පිළිබඳව පැමිණීලි කිරීමට පොලිසියට ගිය විට පවසා සිටියේ  එය ගණන්ගත යුත්තක් නොවන බවයි. එදින ඇය මත්වි්‍ය ගෙන ඇති බවත්ය. දේශපාලනයෙහි ඇති ශක්තිය හේතුකොට ගෙන ඇය විසින් ගෙනෙන ලද පැමිණීල්ල භාර නොගනී. ඔහු ඇයගේ පැමිණිල්ල සටහන් කර නොගත් අතර ඒ වෙනුවට ඇයට පවසන්නේ ඇය ආරක්ෂිත බවත් එය එතරම් ගණන්ගත යුත්තක් නොවන බවත් පවසයි. ඉන් පසුව ඇය ඇය සේවය කරන ස්ථානයෙහි ප්‍රධානී තුමිය සමඟ වෙනත් පොලිස් නිළධාරියෙකුගේ උපදෙස් පතයි. මිනල් උදෑසන ව්‍යායාම කරමින් සිටින විට ඇයව තරුණයන් පිරිස විසින් පැහැරගෙන යන අතර ඇයට කාන්තාවක් ලෙස එම අවස්ථාව තුළ නැඟී සිටීමට නොහැකිවෙනවා. ඔවුන් ඇයට කරදර කරන අතර ඇය නැවත ෆ්ලැට් එක අසලින් දමායයි. මෙම සිදුවීමෙන් පසුව විශාල වශයෙන් මෙම තරුණීයන්ට කරදර විඳීමට සිදුවිය.

මේ අතරතුර කාලයේදී ඇයව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසියෙන් ෆ්ලැට් එකට පැමිණෙයි.  එහිදී වටපිට සිටින්නවූ පිරිස ද ඔවුන් දෙස බලනා ආකාරයත් කාන්තාවක් ලෙස වරදක් සිදුවුවහොත් එය විශාල කොට සලකන සමාජ ක්‍රමයක් තුළ කාන්තාවට ඇඟිලි දිගු වන්නට යන්නේ ඉතා කෙටි වේලාවකි. මේ ආකාරයෙන් කාන්තාවක් ලෙස විශාල වශයෙන් කරදර විදීමට සිදුවිය. ඒ අතර ඔවුන්ගේ උදව්ව සඳහා කිසිවෙකු නොමැතිව අසරණ වන අතර එහිදී උදව්වට පැමිණෙන්නේ පැන්ෂන් ගිය නීතිඥවරයෙකි. ඔහු එම නඩුව තුළ ඉතා දක්ෂ ලෙස මෙහෙයවන අතර එම කාන්තාවන් විශාල වශයෙන් නීතිය ඉදිරියෙහි දී අසරණ වනවා. මේ ආකාරයට කතාව දිව යන අතර නීතිඥවරයාගේ දැඩි තර්ක හමුවේ නඩුව ජය ගත හැකිවෙනවා. මෙහිදී අධ්‍යක්ෂකවරයා එක් ස්ථානයකට ගෙන ඒමට උත්සාහ කරයි. ඒ අනුව කන්‍යාවක්වේවා, ගණිකාවක්වේවා, කුඩා ගැහැණු ළමයෙකුවේවා, පෙම්වතිය වේවා තැන තත්ත්වය, චරිතය, වෙනස්කමකින් තොරව එපා කීමේ අයිතිය හිමි බවයි.


එපා කියන්නේ එපා. ඒකට තවත් තේරුම් නෑ

ධනය බලය හමුවේ කාන්තාවට නීතියෙහි සාධාරණත්වයක් ලබා දීමට මෙම නීතිඥවරයා සමත් වෙනවා.
කාන්තාවක් ලෙස සමාජය ඉදිරියෙහි ඇදුම, පැළදුම, යන එන ස්ථානය යන්න හේතුවක් නොවන අතර කාන්තාවට තම අයිතීන් හිමිවිය යුතු බවත් අපරාධවලින්, අවනීතියෙන්, කුහකකමින් පිරි සමාජයක් තුළ කාන්තාව ද සාධාරණත්වය ඉටුවිය යුතු බව පසක් කර දීමට පින්ක් හරහා නව පියවරක් තැබීමක් ලෙස හදුනාගත හැකිය.

මෙය කාන්තාවක් වශයෙන් මානසික, සාමාජීය, සංස්කෘතිකමය වශයෙන් ඇයට ඇති බාධාවන් පු`ඵල්ව සමාජයට විවරණ කරයි. සමාජ ක්‍රමය වෙනස්විය යුතු බවත් කාන්තාවන්ට කාන්තාවන් ලෙස නිදහසේ කටයුතු කිරීමට අවස්ථාවක් හිමි බවත් කාන්තාවක් වීමම තම වරප්‍රසාදයන් අහිමි වීමට හේතුවක් නොවන බවත් මෙම සිනමා පටය තුළින් සමාජයට ගෙන එයි. පුරුෂයෙකු වීමම සමාජයෙහි වැඩි වරප්‍රසාද හිමි කරගැනීමට හේතුවක් නෙවන බවත්, මුදල බලය තුළින් තම පුරුෂ ශක්තිය පෙන්වීමම පුරුෂයෙකු වීමට හේතුවක් නොවේ. පුරුෂයෙකු වීමම කාන්තාවන්ට හිංසා පීඩා කිරීම සඳහා එකම හස්ත ලෙස නොවිය යුතුය. පටු අදහස් වලින් යුත් ආත්මාර්ථකාමී සමාජ ක්‍රමයක් තුළ කාන්තාවට එල්ලවන චෝදනාවන්හි බරපතල සමාජ තත්ත්වයන් මනාවට නිරූපණය කර ඇත.

ලංකාවටත් ඉන්දියාවටත් පොදු කරුණක් මෙම කතාව තුළ දිවයයි. එනම් කාන්තාවක් අතින් වරදක් වූ පසු ඇය සමාජය තුළ වෙන් කොට වෙනම ප්‍රතිරූපයක් ගොඩනැඟීමට උත්සාහ කරයි. මෙම කතාව තුළද දිවයන ප්‍රධෘන ධාරාව වන්නේ ද මෙයයි. කාන්තාවක් වූ පමණින්ම ඇය සමාජයෙන් කොන් කළ යුතුද? ඇයට තම කටයුතු ස්වාධීනව, ස්වකැමැත්තට අනුව සිදු කළ නොහැකිද යන්න මෙම චිත්‍රපට හරහා ප්‍රේක්ෂක මනසට සන්නිවේදනය කරයි. කාන්තාවක් වීම ඇයගේ සියලු නිදහසට සීමාවක් කිරීමට තරම් හේතුවක් වන්නේද යන්න ද මෙහිදී පැනනගින ගැටලුවකි. ලෝකය ඉදිරියෙහි කාන්තාවක් වීම නිසා නින්දා අපහාස ආදී සියල්ල විද දරා ගනිමින් අවසන කානත්ාවගේ අපිතිවාසිකම් ආරක්ෂා කිරීම සිදු කළ යුතුයි.අපරාදවේදයට  නීතියට ඉහළින් මිනිසත්කම තබා අද දවස වන විට ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි රටවල, සැබෑවටම විසඳිය යුතු මානුෂීය ප්‍රශ්නයක් පිළිබඳ විශිෂ්ට ආකාරයෙන් පින්ක් නමැති සිනමා කෘතියක හරහා ගොඩනැගීමට අනුරුද්ධ රෝයි නැමැති කලාකරුවා නිර්භීතව ඇත.

රාධිකා දිසානායක

Tuesday, August 15, 2017

Reckitt Benkiser සමාගම...........

මින්සුන්ට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් හා හොඳ ජීවිතයක් උදා කිරීම....


ලෝ ප්‍රකට සමාගමක් ලෙස Reckitt Benkiser හදුන්වා දිය හැකිය . මෙය ආරම්භ වී ඇත්තේ 1823 දී ය. මෙම ආයතනය තුළ ව්‍යවසායකයින් 37000ක් පමණ සේවයේ නියුක්තව ඇති අතර, “මින්සුන්ට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් හා හොඳ ජීවිතයක් උදා කිරීමයි, මෙම ආයතනයෙහි දැක්මවේපාරිභෝගිකයන් හට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් සහ හොඳින් ජීවත් වීමට උදව් කිරීම මෙහි ප්‍රමුඛ අරමුණක් බවට පත් ව ඇත. මිනිසුන්ට තමන් සහ තමන්ගේ පවුල් රැකබලා ගැනීමට නව මාර්ගයන් සොයා දීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් Reckitt Benkiser සමාගම විසින් සිදු කරනු ලබන්නා වූ අතර ඔවුන් ඒ සඳහා ආයෝජනය කරනු ලබයි.

            මෙම සමාගම විසින් වගකීමෙන් යුතුව තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක වන්නා වූ අතර ඒ සඳහා සමාජීය, පරිසරාත්මක හා මූල්‍යමය වශයෙන් විවිධාකාරයෙන් ක්‍රියාත්මත වීම් දක්වා ඇත.  Reckitt Benkiser සමාගම හැම විටම පාරිභෝගිකයන් සඳහා ඉතා ගුණාත්මක නිශ්පාදනයන් ලබා දීමට උත්සහ කරන්නා වූ ආයතනයකි. Reckitt Benkiser සමාගමේ මූලික වගකීම වන්නේ මිනිසුන්ට හොඳ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට උදව් කිරීම ය.  මින්සුන්ගේ ජීවිත ඉතා ඉක්මනින් හා දැඩි උවමනාවන් සහිතව වෙනස් වන්නා වූ අතර, මෙවැනි වූ නව අභියෝග සමඟ ගනු දෙනු කිරීමට උදව් කිරීම සඳහා විසදුම් Reckitt Benkiser ආයතනය විසින් නිරන්තරයෙන් සපයනු ලැබේ. එබැවින් මෙම ආයතනය වෙළඳ පොළක ඉතා ඉක්මනින් වර්ධනය වන ව්‍යාපාරයක් බවට පත් ව ඇත. නවෝත්පාදනයන් තුළින් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ඉහළ නැංවීමට මෙම ආයතනය නිරන්තරයෙන් කටයුතු කරනු ලැබේ.


Reckitt Benkiser සමාගමතුළ පවතින්නා වූ ව්‍යවසායකත්ව සංස්කෘතිය තුළින් අදහස් ධූරාවලියක් සකස් කරනු ලබයි.  මෙමඟින් මොවුන් ඉතා ඉක්මනින් නව සමාජයට ගැළපෙන්නා වූ අදහස් ගොඩනඟා ගනී. මේ නිසාවෙන් මෙම ආයතනයේ සන්නම් ලොව වෙළඳ පොළ ප්‍රමුඛයන් බවට පත් වී ඇත. මෙම ආයතනය ඉතා උසස් මට්ටමේ නායකත්ව කුසලතා හා අත්දැකීම්වලින් යුක්ත කන්ඩායමකගෙන් සංයුක්ත වී ඇත. මෙමඟින් සඵලදියී මිශ්‍රණයක්, ස්ථායීභාවය ස්ථිර කිරීමක්, විශේෂඥ මඟ පෙන් වීමක් සහ විශේෂිත වූ සංස්කෘතිය හොඳින් කළමනාකරණය කිරීමේ හැකියාවක් ඔවුන්ට හිමි වී ඇත. Reckitt Benkiser සමාගම ගෝලීයව ව්‍යාප්ත වී ඇති අතර, එය රටවල් 60ක් පුරා සක්‍රීයව ක්‍රියාත්මකව පවතී. එමෙන්ම මෙම ආයතනයේ නිශ්පාදන ලෝකය පුරා වෙළඳ පොළවල් තුළ විශ්වාසය දිනාගනිමින් ව්‍යාප්තව ඇත.

Argentina                                            Zimbabwe                                                     
Austria                                                Zambia
Australia                                             Venezuela
Bangladesh                                         Venezuela
Bosnia & Herzegovina                       Uruguay
Brazil                                                  USA
Bulgaria                                              Ukraine
Canada                                               UK
Chile                                                   UAE
China                                                  Turkey
Colombia                                            Thailand
Costa Rica                                          Taiwan
Croatia                                               Switzerland
Czech Republic                                  Sweden
Denmark                                            Sri Lanka
Egypt                                                  Spain                                     
Finland                                               South Africa
France                                                Slovakia
Germany                                            Singapore
Greece                                                Serbia
Hong Kong                                        Russia
Hungary                                             Romania
India                                                   Portugal
Indonesia                                          
Italy                                                            
Philippines                             

Reckitt Benkiser සමාගම සෞඛ්‍ය සණීපාරක්ෂාව සඳහාම අරමුණු කරගත් බලවත් සන්නාමයන් ලබා සෑම වෙළඳ පොළකම ප්‍රමුඛයන් බවට පත් වී ඇත. අද ලෝකය මුහුණ පා තිබෙන්නා වූ සංකීර්ණ ගෝලීය අභියෝගයන් මෙම ආයතනයන් විසින් අමතනු ලැබේ. සේවකයන්ගේ සහ නිශ්පාදයන් වල වෙනස්කම් කරමින් (බල ශක්ති ඉල්ලුම, අමුද්‍රව්‍ය, වනාන්තර නිර්මාණය, ජලයේ හිඟකම, අමුද්‍රව්‍ය නිර්මාණය, සණිපාරක්ෂාව සහ පාරිභෝගිකයින්ගේ කළ හැකි වෙනස්කම්) ඔවුන් සිදු කරන ලද කාර්යයන්ගේ ස්වභාවයන් ඔවුන් විසින් ම හදුනාගනු ලැබේ. ඒ අනුව වඩා හොඳ අනාගතයක් ඇති කිරීම සදහා මෙම ආයතනයේ නිශ්පාදන නිර්මාණය කිරීමට හා නිශ්පාදන ඉහළ නැංවීමට මොවුන් නිරන්තරයෙන් විවිධ වෙනස්කම් හා අත්හදා බැලීම් සිදු කරනු ලබයි.



සන්නාමයක් යනුවෙන් හදුන්වනු ලබන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් අනෙකුත් භාණ්ඩ හා සේවා සපයන ආයතනවලින් වෙන් කර හදුනා ගැනීම විකුණුම්කරුවන් හෝ විකුණුම්කරුවන් සමූහයක භාණ්ඩ හෝ සේවා හදුනා ගැනීමේ අදහසින් භාවිතා කරනු ලබන නමක්, වචනයක්, සළකුනක්, සංකේතයක් නිර්මාණයක් හෝ මේවායේ එකතුවකි. සමාගමකට සන්නාම නාමයන් එකක් හෝ කීපයක් පැවතිය හැකි ය. Reckitt Benkiser සමාගම තුළ ද බොහෝ සන්නාමයන් හා සේවාවන් ගණනාවක් පවතී. 
Mortein                     1880               French’s
Lysol                          1899               Gaviskon
Dettol                         1932               Harpic
Air Wick                    1943               Woolite
Disprin                       1948
Finish                         1953
Calgon                        1956
Veet                            1969
The New RB              1999
Save the Childern    2003
Cillit Bang                 2005
Nurofen                     2006
Strepsils                     2006
Vanish Bea                2007
Mucinex                     2008
Durex, Scholl            2010
Rokesh K                   2011
S’Chiff Nutrition      2012
K-Y                             2014
Clearastil


Sunday, August 6, 2017

ජංගම දුරකථනය හා හුදෙකලා වූ ජීවිත......................


තාක්ෂණයෙහි උපරිම ඵල නෙලා ගනිමින් ජංගම දුරකතනය සියලුම මාධ්‍යයන් අභිබවමින් නූතන විප්ලවීය පෙරලිකාරයා බවට පත්ව ඇත. එදා සන්නිවේදන මෙවලමක් වූ ජංගම දුරකතනය අද ධනවත් බවේ සංකේතයක්, සමාජ තත්ත්වය පෙන්වන්නක් මෙන්ම විලාසිතාවක් බවට පත්ව ඇත. සියල්ල එක් තැන් වූ රස ගුලක්වන් ජංගම දුරකථනයත් සමග නූතන තරුණ පරපුර වල්මත් වී ඇත.

අප ගෙවෙන්නාවූ හැම මොහොතක්ම දුරකතනයත් සමග හුදෙකලා වී ඇත. අද දරුවන් සමඟ දෙමව්පියන්ට කතා කිරීමට කාලයක් නැත. දරුවන් දරුවන්ගේ ලෝක තුලය. මානව සමාජය තුල බැඳීම් දෙදරා ගොස් ඇත.  දවස තුලම දුරකතනය මිරකමින් තනිව සිනාසෙමින් ෆේස් බුක්, ටිවීටර් තුල තම ජීවිතය ගොඩනගා ගැනීමට බොහෝ දෙනෙකු සිහින දකිති. ෆොටෝස් අප්ලෝඞ් කරති. යහලුවන් සොයාගනිති. රැයක් දවාලක් නොබලා චැට් කරති. එයම අවසන තම ජීවිතයෙන් සමු ගැනීමට ද හේතුවක් වෙති.

අද අයෙක් අනතුරකට පත් වූ පසු එම තැනැත්තා බේරා ගැනීමට උත්සාහ නොකර එම අවස්ථාව වීඩියෝ කිරීම හෝ ෆොටෝස් ගැනීමට අමතක නොකරයි.එය මුහුණු පොතට එක් වන්නට යන්නේ ද නිමේෂයකි. මහපාරේ දී බස් රථයේදී ඔවුන් ජීවත් වන්නේ දුරකතනය සමඟින්ය. කෙනෙකු ඇගේ හැපෙන තුරුම තමා ඉන්නේ කුමන ලෝකයේ දැයි පාරේ යන බොහෝ දෙනාට අමතකය. ඉයර්ෆොන් දෙක කනේ ගසා ගනිමින් මුහුණු පොත තුල සැරිසරණ බොහෝ දෙනාට ගවු ගණන් දුර සිටින කෙනෙක් සමඟ සම්බන්ධය ඇති කර ගත්තද තම ආසනයෙහි අනෙක් පස සිටින පුද්ගලයා අමකත වී ඇත. තමාගේ ලග සිටින මිනිසාගේ මුහුණ බලා සිනාසීමට නොහැකි තරම් කුහකයින් පිරිසක් බවට පත්ව ඇත.

වර්තමානයේ බොහෝ රෝගාබාධ ඇති කිරීම සඳහා දුරකතනය ප්‍රධාන හේතුවක් බව සොයාගෙන ඇත. මේ ආකාරයෙන් දිනෙන් දින දියුණු වන දුරකතනය මානව සබඳතා, කාලය, සෞඛ්‍යය හා රටෙහි සංවර්ධනය විනාශ මුඛයට ගෙනයන්නක් බවට පත්ව ඇත. තාක්ෂණය හා බුද්ධිය යන්න වර්තමාන සමාජයට අතවශ්‍ය කරුණු දෙකකි. තාක්ෂණය සමාජයට නැතිව බැරි දෙයක් බව සැබෑ කරුණකි. නමුත් ඒ තුල අතරමං නොවී සිටීමට නම් බුද්ධිය අවශ්‍යය. තාක්ෂණය සමග සිදුකරන්නාවූ ගනුදෙනුවෙහිදී හැඟීමට වඩා බුද්ධියට මුල් තැන දී කටයුතු කළ යුතුය. එසේ නොවුවහොත් තාක්ෂණය තුල  වල්මත්වූවෙකු බවට පත්වනු ඇත.



රාධිකා දිසානායක

Saturday, July 29, 2017

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්..................

ලාංකේය ජන සමාජය තුළ ඈත  අතීතයේ සිටම පැවත එන විද්‍යාවන්ගෙන් එකක් ලෙස ගුප්ත විද්‍යාවහැඳින්විය හැකිය. ඒ අනුව පළමුවෙන්ම ගුප්ත විද්‍යාව යනුවෙන් අර්ථවත් වන්නේ කුමක්දැයි යන්න පිළිබදව අධ්‍යයනය කරනු ලැබේ.
ගුප්ත විද්‍යාව යනුවෙන් නිශ්චිතවම අර්ථ දැක්වීම ඉතා අපහසු කාර්යයකි. කෙසේවෙතත් ගුප්ත විද්‍යාවන් ලෙසට ජ්‍යොතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, සෙත්කවි, වස්කවි හා අධි මානසිකයින් සියල්ල හඳුනාගත හැකිය. එමෙන්ම ගුප්ත විද්‍යාවට අයත් සියල්ලම පර්යේෂකයා විසින් පර්යේෂණ කාර්යය සඳහා යොදා ගැනීමට අපේක්ෂා නොකරන අතර ජ්‍යොතිෂය හා බෞද්ධ වත් පිළිවෙත් යන ක්ෂේත්‍රයන් කෙරෙහිද අවධානය යොමු නොකිරීමට අපේක්ෂා කෙරේ.ඒ අනුව පර්යේෂකයා විසින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනුයේ ගුප්ත විද්‍යාවන්හී ප්‍රධාන ක්ෂේත්‍රයක් වන යන්ත්‍ර මන්ත්‍රකෙරෙහිය.

යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් පිළිබඳ අවධානය යොමු කිරීමේදී එය ප්‍රධාන කොටස් ගණනාවක් යටතේ විස්තර කරනු ලැබේ. එනම්;

  අණවිණ කොඩිවිණ                 ඉනාව
  වස් දොස් නිවාරණය                පිල්ලි
  වශී ගුරුකම්                            අංගම්
  නඩු ජයග්‍රහණ                         ග්‍රහ අපල නිවාරණය
  කෙම් ක්‍රම
ගුප්ත විද්‍යාව අභිවාර ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව අභිචාර යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්දැයි විද්වත් මත පිළිබද මෙහිදී අවධානය යොමු කරනු ලැබේ.
සිංහල විශ්වකෝෂයේ අභිචාරයන්න පැහැදිලිකෙරෙන්නේ මෙසේ ය. යම් කිසි අභිමතාර්ථයක් ඉටුකර ගැනීමට කරන අණ, විණ, හූනියම් ආදිය අභිචාරවිධි නමින් හැඳින්වේ (අමරසේකර,2012:160).
ඉහත නිර්වචනය අනුව පැහැදිලි වන්නේ පුද්ගලයින් තම දෛනික ජීවිතය තුළ මුදුන් පමුණුවාගැනීමට අපේක්ෂිත අරමුණු හා ඉලක්ක සපුරාගැනීම සඳහා අණවිණ, හූනියම් ආදී වූ අභිචාරයන් භාවිතයට ගැනීමට හුරුපුරුදු වී ඇති ආකාරයයි.
අභිචාර කියන්නේ අධි ස්වභාවික බලවේගයක් යම් කිසි ක්‍රමයක් මඟින් නතුකර ගැනීමයි. හොඳට හෝ නරකට මේ අභිචාර ක්‍රම යෙදවිය හැකිය. ඒවා ආගමික ක්‍රියාවලියෙන් වෙනස් වේ. යාඥාව හා පුදපූජාඅභිචාර ක්‍රමයයි. ඉන් ඉහළ බලවේගවලින්, දෙවියන්ගෙන් යම් යම් දේ ඉල්ලනු ලැබේ. අභිචාර මගින් කරන්නේ ඒවා මඟින්ම යම් යම් දේ ලබා ගැනීමය (රත්නපාල,2001).
නන්දසේන රත්නපාලයන්ගේ අර්ථ දැක්වීම අනුව අපට නොපෙනෙන බලවේගයන් තුළින් යහපත් හෝ අයහපත් ක්‍රියාවන් වෙනුවෙන් යම් යම් දේවල් ලබාගැනීමට උත්සාහ දරනු ලබන අතර ඒවා ආගමික ක්‍රමයන්වලින් ඉඳුරාම වෙනස් වන්නාවූ ක්‍රියාවලියකි.
අභිචාර පිළිබඳ පුළුල් විග්‍රහයක් ජේම්ස් ෆ්‍රේසර් විසින් ඉදිරිපත් කර ඇත. ඔහු අභිචාර යනුවෙන් හැඳින්වූයේ,“ආගමික සංස්ථාවේ ආරම්භයට පාදක වූ විශ්වාස හා ක්‍රියාකාරකම් පද්ධතියක් වන අතර කිසියම් අභිමතාර්ථයක් ඉටු කර ගැනීමට උපයෝගී කර ගන්නා බැවින් විද්‍යාත්මක බඳු වූවත් මිත්‍යා මත පදනම් කොට ගෙන ඇති බැවින් ව්‍යාජ විද්‍යාවක් යනුවෙනි” (අමරසේකර,2012).
ඉහත නිර්වචනය අනුව පැහැදිලි වන්නේ සමාජයේ වැදගත් සමාජ සංස්ථාවක් වශයෙන් විග්‍රහ කරනු ලබන ආගමික සංස්ථාවේ ආරම්භය සඳහා ද පාදක වූ විශ්වාස හා භාවිතාවන් පද්ධතියක් ලෙස අභිචාරයන් හඳුනාගත හැකි බවකි. එසේම මේවා මිත්‍යා මතවාද උපයෝගී කරගනිමින් පුද්ගල අභිමතාර්ථ සාධනය පිණිස භාවිත කරනු ලබන බව වැඩිදුරටත් විශ්වාස කරනු ලබන බවයි.
දයා අමරසේකරයන්ගේසමකාලීන ශ්‍රී ලංකා සමාජය සමාජ විද්‍යාත්මක විග්‍රහයනම් ග්‍රන්ථයේ දක්වා ඇති ආකාරයට අභිචාර වර්ධනය ෆ්‍රේසර් සමාජ පරිණාමයේ ප්‍රධාන යුග තුනක් ඔස්සේ ඉදිරිපත් කරනු ලැබේ.

01. අභිචාරාත්මක අවධිය
02. ආගමික අවධිය
03. විද්‍යාත්මක අවධිය

ෆ්‍රේසර්ට අනුව අභිචාරාත්මක අවධිය හෙවත් මානව ජීවිතයේ ආරම්භක යුගය අභිචාර රජවූ අවධියයි. ස්වභාවික සිදුවීම් හරියාකාරයට තේරුම් ගැනීමට අවශ්‍ය බුද්ධිය එකල නොතිබූ නිසාම තමන් පාලනය කරන අධි භෞතික බලවේගයන් ඇති වූ බව ඔහුගේ විශ්වාසය විය. ෆ්‍රේසර්ගේ විශ්වාසය අනුව අභිචාර මුල්වරට මිනිසා අතරට පිවිසුණේ ඉන්පසුව බවයි.
අභිචාර හා සර් ජේමිස් ෆ්‍රේසර්(James Frazer)හැදූ මත මෙහිදී වැදගත්ය. හෙතෙම තම ගෝල්ඩන් බවුග් ’(Golden Bough) නම් ග්‍රන්ථය අභිචාරත් ආගමත් අතර වෙනස දකින බවයිය. ආගම නම් තමාන්ට වඩා බලවත් බලවේග පාලනය කිරීමයි. එසේ කරන්නේ යාඥාවෙන් හා පූජාවෙනි. ඒ බලවේග තමන්ගේ ජිවිතය පාලනය කරයි. අභිචාර නම් එවැනි ප්‍රාථමික ස්වභාවික නීතික්‍රියාවේ යෙදවීමය. මේ නීති දෙකක් හේ දුටුවේය.
ඉහත උපුටනය අනුව ආගම යනු බලවත් බලවේග පාලනය කිරීමක් ලෙස විස්තර වන්නේ ය. තවද මේ සඳහා විවිධ පූජා විධි හා යාඥා ක්‍රම භාවිත කරමින් තම මිනිසුන්ගේ ජීවිත බලවේග මඟින් ජීවිත පාලනය කරන බවත් මෙමඟින් විද්‍යාමාන වේ. තවද සමාජයේ ගුප්ත විද්‍යාව මඟින් මිනිසාට යම් බලපෑමක් ඇති කරවන බව ෆ්‍රේසර් තවදුරටත් පැහැදිලි කරනු ලැබේ.
ප්‍රධාන වශයෙන් ගත් කල අභිචාර සඳහා ආගම මූලික වී ඇති බවක් දක්නට ලැබේ.
අභිචාර හා ආගම අතර දැඩි සම්බන්ධතාවයක් පවතී. නූතන දියුණු සමාජයේ පවා ප්‍රධාන සමාජ සංස්ථාවක් ලෙස සමාජ විද්‍යාඥයන් හඳුන්වන ආගම බිහි වීමට අභිචාර හා සම්බන්ධ විශ්වාස හා භාවිතයන් පාදක වී ඇති බව බොහෝ විද්වතුන්ගේ මතය වී තිබේ.මේ පිළිබඳව අදහස් දැක්වූවන් අතර ඊ. බී. ටයිලර් E.B Tylor හා ජේ.ජී ෆ්‍රේසර් J.G Frazer යන මානව විද්‍යාඥයින් ප්‍රමුඛත්වයක් ගනිති. සර්වාත්මවාදය (Animism)  යන සංකල්පය අනුව විශ්වයේ සෑම දෙයකටම ආත්මයක්, ජීවයක් ඇතැයි ප්‍රාථමික මිනිසා කල්පනා කළ බව ටයිලර් සිය ප්‍රාථමික සංස්කෘතිය (Primitive Culture,1871)  නම් කෘතියෙහි දක්වයි. ඒ අනුව මිත්‍යා විශ්වාස හා අභිචාර ඇසුරු කරගත් නිර්වචනයක් ඔහු ආගම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබේ. එනම් ආගම යනු අධි භෞතික සත්ත්වයින් (ජීවින්) පිළිබඳ විශ්වාස පද්ධතියක්ලෙසය (දිසානායක,2010:12).
අභිචාර මඟින් මිනිස් සමාජය වෙනස් වූ ආකාරය ආචාර්ය උබේසේකර දිසානායකගේ අභිචාරකෘතියෙන් විද්‍යමාන වේ. එනම්, ආගම මුල් කරගෙන අභිචාර නිර්මාණය වූ ආකාරය පැහැදිළි වු අතර සමාජයේ මිනිසුන්ගේ මිත්‍යා විශ්වාස ව්‍යාප්ත වීම කෙරෙහි ආගම ප්‍රබල බලපෑමක් වූ බව මේ කෘතිය මඟින් විස්තර කර ඇත.ඊ.බී. ටයිලර් ඉදිරිපත් කරන ලද ප්‍රධාන සංකල්පයක් ලෙස සර්වාත්මවාදය මඟින් සෑම ජීවියෙක්ටම ආත්මයක් සහ ජීවයක් ඇති බව පැහැදිලි කරන ලදී. ආත්මය මුල් කරගෙන මිනිසුන් තුළ යම් යම් බලවේග නිර්මාණය වූවා යැයි ද ඒ මඟින් මනුෂය්‍ය ආත්මය වෙනස් වන බවත් ගම්‍ය වේ. මෙසේ බාහිර බලවේග මඟින් කුමන බලපෑමක් ඇති වන්නේ ද එයට පිළියම් කළ හැක්කේ කෙසේ ද යන්න ගුප්ත විද්‍යාව මඟින් කරුණු විග්‍රහ කෙරේ.

ගුප්ත විද්‍යාව බිහි වීමට ආගම බලපා ඇති ආකාරය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇත. ඍග්, යජුර්, යාම, අථර්වන් වේදයට අදාළ කරුණු මැනවින් හදාරන ලද බමුණෙකු හැඳින්වෙන්නේ තේවි- ජක බමුණෙකු ලෙසිනි. වේදය ගොඩ නැඟූ අට්ඨක, වාමක, වාමදේව, අංගීරස, වෙත්තාමිත්ත,යමතවග්ගී, භාරද්වාජ, වාසෙට්ඨ, කාශ්‍යප, භෘගු ආදී ඍෂිවරු මේ විද්‍යාවන් ත්‍රිවිද්‍යා හා අෂ්ට විද්‍යා ලෙසටත් දක්වා ඇත. පුබ්බේනිවාසානුස්සති, දිබ්බචක්ඛු හා ආසවක්‍ය ඥාන වශයෙන් ත්‍රිවිද්‍යාවද ඉද්දිවේද, දිබ්බසෝත, පරචිත්තවිජානන, ආසවක්ක්‍යය හා විපස්සනාඥාන මනෝමය ඉද්ධිඥාන එක්කොට ගුප්ත විද්‍යාව නිර්මාණය වී ඇති අතර මෙය කෙනෙකුට ක්ෂණිකව දිය හැක්කක් නොවේ. එනම් ධර්මය ප්‍රධාන ලෙස ගුප්ත විද්‍යාව ඇති වීමට ප්‍රබල පිටුවහලක් විය.
ෆ්‍රේසර් අභිචාර ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා දක්වා තිබේ. එනම්;
න්‍යායාත්මක
සිද්ධාන්තමය
වශයෙනි.
න්‍යායාත්මක අංශයේදී අභිචාර ව්‍යාජ විද්‍යාවක් ලෙසද ප්‍රායෝගික අංශයේදී ව්‍යාජ කලාවක් ලෙසද දැකගත හැකිය. ෆ්‍රේසර් විසින් ප්‍රායෝගික අංශය නැවත කොටස් දෙකකට කට බෙදා දක්වන අතර යන්ත්‍ර මත පදනම් කරගෙන සිදු කරන යාතු කර්ම ප්‍රතිජනනාත්මක අභිචාර ලෙසත් තහංචි මත ගොඩනැඟෙන අභිචාර නිශේධාත්මක අභිචාර ලෙසත් වර්ගීකරණය කරනු ලැබේ.

අභිචාර පිළිබඳ කෘත්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් උනන්දු වූ තවත් මානව විද්‍යාඥයෙකි බ්‍රොනිස්ලෝමැලිනොවුස්කි (Bronislow Malinowsky). ත්‍රෝබියන්දිවයින ආශ්‍රයෙන් කරන ලද අධ්‍යයනයක් තුළින් මැලිනොවුස්කි අභිචාර පිළිබඳ පුළුල් අදහසක් දක්වා ඇත. ඔහු අභිචාර ආගම තුළින් වෙනස් වන බව පවසයි. ආගම තුළින් සිදු වන්නේ මිනිස් පැවැත්මේ මූලික ගැටලු විසඳීමත් වන අතර අභිචාර තුළින් හැමවිටම කරනු ලබන්නේ විශේෂිත වූත් සවිස්තරාත්මක වූත් ප්‍රශ්න පිළිබඳ කථා කිරීමකි (අමරසේකර,2012).
ලෝකයේ සියලුම රටවල්වල අභිචාර දැකගත හැක අතර මැලිනොවුස්කි මේ පිළිබඳ පුළුල් මතවාද ඉදිරිපත් කර ඇත. මැලිනොවුස්කි මෙහිදී ආගමේ කාර්යභාරය හා අභිචාරවල ඇති වෙනස විග්‍රහ කර ඇත. මෙහිදී මැලිනොවුස්කි අභිචාර සම්බන්ධයෙන් කළ විග්‍රහයේදී දුරස්ථ බව පිළිබඳ න්‍යාය වැදගත් වනු ඇත. ඒ මඟින් මිනිසුන් බලාපොරොත්තු වන්නේ අභිචාර භාවිතය තුළින් පුද්ගලයින්ගේ සිතෙහි ඇති කණස්සල්ල හා නොසන්සුන්කම කැමති ආකාරයකට දුරු කිරීමයි. මෙය ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් අත්දැකීම් ලබා ගන්නා ලදී. මෙවැනි අවස්ථාවල බාහිර බලවේල හෝ අධි භෞතික බලවේග මඟින් පිහිට හෝ ආධාර ලබා ගැනීමට මානව ජීවීන් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම උත්සාහ දරා ඇති බව මොහු විසින් තවදුරටත් විග්‍රහ කරන ලදී.
මැලිනොවුස්කි සිය අභිචාර අධ්‍යයනයේදීඒවායේ වර්ගීකරණය කෙරෙහිද අවධානය යොමු කොට ඇත. මේ අනුව මැලිනොවුස්කි ප්‍රධාන අභිචාර වර්ග දෙකක් හඳුනාගෙන ඇත.ඒවා නම් සුදු අභිචාර සහ කළු අභිචාරයි (අමරසේකර,2012).

සුදු අභිචාර සෑම විටම සමාජයේ පිළිගත් අභිචාර ක්‍රමයන් වේ. සෙත් ශාන්ති වැනි මිනිසාට හිතකර අභිචාර විධි සුදු අභිචාරවලට අයත් වේ. සුදු අභිචාර මඟින් කිසිදු මනුෂ්‍ය ජීවිතයකට හානියක් නොවේ. මැලිනොවුස්කි සුදු අභිචාර කොටස් දෙකක් යටතේ හඳුන්වා ඇත. පුද්ගලයෙකුට තම ජිවිතය පිළිබඳ යම් බියක් හා චකිතයක් ඇති වූ විට ප්‍රයෝජනයට ගනු ලබන්නේ සුදු අභිචාරයන් ය. එය පළමු වර්ගයයි. දෙවන වර්ගය ලෙස මැලිනොවුස්කි පෙන්වා දෙන්නේ මන්ත්‍රකරුවන් පුදුම කරවනස්වරූපයකට හෝ ආශ්චර්යවත් ආකාරයට කෙනෙකු යම් කිසි ආකාරයකට පිහිටක් වන හෝ ගෙනදෙන අභිචාර ක්‍රමය වේ. කළු අභිචාර ලෙස හඳුන්වනු ලබන්නේ පුද්ගල හිංසා හා පිඩන ගෙන දෙන අභිචාර ක්‍රම වේ. මේ මගින් සමාජයට පිළිලයක් වන ස්වභාවයක් ගනි. සමාජ සාරධර්ම පිරිහිමකටලක් වනු ඇත. මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීමට මෙම අභිචාරක්‍රම භාවිත කරනු ලැබේ. තවද පීඩාකාරි ව්‍යසනයක් ගෙන දෙන අභිචාර ලෙස අනවිණ, හුනියම්, කොඩිවින ලෙස වර්ග කළ හැකිය. මෙම ක්‍රියාවල නිරතවන්නේහැම විටම භයානක මිනිසුන් වන අතර ඔවුන් තුළ මනුෂ්‍ය සාරධර්ම පිරිහි ඇති නිසාවෙනි.
අභිචාර පිළිබඳ අදහස් දක්වන ඊ.බී ටයිලර් (E.B Tylor) ඔහුගේ ''Savages" නම් කෘතිය තුළින් අභිචාර ව්‍යාජ විද්‍යාවක්වශයෙන් දක්වයි. (අමරසේකර,2012:168)
ගුප්ත විද්‍යාවට ලිඛිත ඉතිහාසයක් නොමැත. එය ඈත අතීතයේ සිටම පැවත එන්නක් ලෙස දැකගත හැකිය. එසේම ගුප්ත විද්‍යාව ප්‍රධාන ලෙස මිනිසුන්ගේ මනසේ ඇති වු බලවේගයක් ලෙස හඳුනාගත හැකි අතර ගුප්ත විද්‍යාව මෙයැයි කිම නිවරදි නොවේ. ඈත අතිතයේ සිටම විවිධ හදි, හුනියම් ක්‍රම මගින් මිනිසුන් පහළතත්වයට ඇද දැමීමටත් මන්ත්‍ර ශාස්ත්‍රය මගින් ජන ජීවිතය විනාශ කිරීමක් ලෙසත් හඳුනා ගත හැකිය.

බුද්ධ දේශනාවට අනුව ගුප්ත විද්‍යාව සිතන තරම් සරල දෙයක් නොවන බව පැහැදිලිය. මෙහිදි ප්‍රබල ගුප්ත විද්‍යාඥයෙක් ලෙස කටයුතු කිරීම නම් ඔහු අවම තරමේ පංචාභිඥ අෂ්ට සමාපත්තිලාභියෙකු විය යුතුය. නමුත් ගුප්ත විද්‍යා කටයුතු වල නිරතව සිටින්නේ ගුප්ත විද්‍යා දැනුමක් ලබා ගත් අය පමණක් වීම පරිහානියට හේතුවක් වේ.
ත්‍රිපිටකයේ පවා තොරතුරු සඳහන් වී ඇත්තේ ගුප්ත විද්‍යාව බුද්ධ කාලයේ පටන් තිබු බවයි. එය තිරස්තීන විද්‍යාවක් ලෙසට දක්වා තිබෙන්නේ මිත්‍යා ප්‍රලාප වු නිසා නොවේ.
බුද්ධකාලයේදි එක් භික්ෂු නමකට අමනුෂ්‍ය බාධකයක් වැළදුනි. ආචාර්යන් වහන්සේලාට එය සුව කල නොහැකි විය. එම භික්‍ෂුව අමනුෂ්‍ය වේෂයෙන් ඌරෙක් මරණ තැනට ගොස් අමු මස් කා ලේ බීමෙන් ආබාධය සුවවිය. බුදුරාජාණන් වහන්සේ එවැනි අවස්ථා වල එසේ කිරීම සුදුසු බව අනුදැන වදාළහ. එය සමස්ත ප්‍රාසාදිකාවේ සඳහන්ව ඇත. මෙවැනි යකුන් වැහුණු විට යකඳුරන් පිටියෙන් හෝ මැටියෙන් යක් රුව තනා අත් පා සදින බවත් හිස සිඳලුවහොත් යක්‍ෂයා මැරෙන බවත් එහිම සඳහන් වේ.
ඉහත කරුණු අනුව පෙනි යන්නේ ගුප්ත විද්‍යාව ඉන්දියාව තුළ ඉතා හොඳින් තිබු ආකාරය පිළිබඳවයි. එසේම විවිධ ලෙඩ රෝග සුව කිරීම සඳහා මෙම යන්ත්‍රමන්ත්‍ර භාජනය කළ හැකි බවත් ඒ මගින් මනා සුවයක් ලබා ගත් අයුරුත් තවද බුදු දහම මගින් එයට වටිනාකමක් හිමි කර  දුන් ආකරය ගැනත් ඉහතින් විස්තර කර ඇත. ගුප්ත සමාජයේ යකඳුරන් නැමැති මනුෂ්‍ය කොට්ඨාසයක් ජිවත් වු අතර ඔවුන් තුළින් පාරම්පරික ලෙස මෙම ගුප්ත විද්‍යාව හෙවත් යන්ත්‍ර මන්ත්‍ර, තොවිල්, ජොතිෂ්‍ය වැනි විද්‍යා ක්‍රම බිහි වු ආකාරය පිළිබඳවත් මනාව පැහැදිළි වේ.
අභිචාර හා ආගමපියවර දෙකක් ලෙස පරිනාමයේදි සැලකිය. අභිචාර යුගය කලින් ඇති විය. මුල්ම ඕස්ට්‍රේලියානු වනචාරීන් අභිචාර කටයුතු මිස ආගම ඇතිව ජිවත් වුයේ නැත. කල්යෑමේදි මෙම මුල්යුගවල අයට අභිචාරී කටයුතුවල අර්ථ ශූන්‍ය බව වැටහෙන්නට ඇත. අභිචාරී කටයුතු වලට වඩා  අධි ස්වභාවික බලවේග ලෝකයේ ඇති බව ඔව්හු පිළිගත්හ. එය සිදුවුයේ පරිනාමයේ නූතන අවධියේදි ස්වභාවික නීති  ඇතැයි පිළිගැනීමෙනි (රත්නපාල,2001)

මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ කෘතියේ මේ පිළිබඳ විස්තර කර ඇත. ඉන්දියාවේ මෙන්ම ඕස්ටේ්‍රලියාව වැනි රටවල් වල අභිචාර ක්‍රම තිබු බවට සාක්‍ෂි දරයි. තවද ඒ තුළින් මිනිසුන් මුල් කාලයේ සුවයක් හෙවත් මානසික සහනයක් ලබා දුන් බව විග්‍රහ කර ඇත. කල්යත්ම අධි ස්වභාවික බලවේග මිනිසුන් තුළට පැමිනීමත් සමඟ ඔවුන් අභිචාර වලින් ඈත් වු බවත් මෙහි දක්වා ඇත. අපට ගම්‍ය වන්නේ විවිධ රටවල් වල අතිතයේ අභිචාර විධි තිබු ආකාරයත්එය එක් එක් රටකට සීමා නොවුනු අතර අභිචාර ඇති වීමට එක් එක් ආගම් මගින් පෝෂණයක් ලැබු බවද විද්‍යාමාන වේ.
අපි මධ්‍යම අප්‍රිකාවේ අසාන්ඬේවරුන් දෙස බලමු. මේ අයගේ ජීවිතයේ හදිහූනියම් සාමාන්‍ය දෙයකි. යම්කිසි කාරණයකට පේන හේතුවක් නැති නම් ඒ කියන්නේ තහංචියක් හෝ බිඳහෙලීමක් වැනි ප්‍රකට හේතුවක් නැත්නම් එය හදිහූනියමකින් සිදුවුවකැයි කියැවේ(රත්නපාල,2001).
අප්‍රිකාවේ ගුප්ත විද්‍යා ක්‍රම ඉතා දියුණු ලෙස තිබු බව පැහැදිලය. තවද ඒ මිනිසුන් තුළ බොහෝ මිත්‍යා විශ්වාස එල්බගෙන තිබු බවත් ගම්‍ය වේ. ඉහත උපුටනයට අනුව පෙනි යන්නේ ඒ ප්‍රදේශයේ හදිහූනියම් සාමාන්‍ය දෙයක් යන්නයි. ඔවුන්ගේ ප්‍රබල මතයක් වුයේ යම් රෝගයක් හෝ වෙනත් ව්‍යාධියක් ඇති වු විට ඒ සඳහා පෙනෙන හේතුවක් නොමැති නම් යන්ත්‍ර මන්ත්‍ර ආශ්‍රයෙන් සිදු කරන්නක් බව පෙන්වා ඇත. ජිවිතය යන්ත්‍ර මන්ත්‍ර වලින් පුරවාගත් මිනිසුන් එකරාසී වී ඇති ග්‍රෝත්‍රික කණ්ඩායමක් ලෙස අසාන්ඬේ ග්‍රෝත්‍රිකයන්හඳුනාගත හැකිය.
ගෝත්‍රික සමාජ වල ප්‍රබල ලෙස ගුප්ත විද්‍යාව ව්‍යාප්ත වන බවත් එයට ප්‍රධාන වශයෙන්ම ඔවුන් තුළ ඇති කාර්යක්‍ෂමභාවය අවම වීමද බලපා ඇත. තවද දැඩි ආගමික එල්බ ගැනීමට මෙයට ප්‍රබල ලෙස බලපා තිබීමද සමාජයේ ඔවුන් පාරම්පරික වීමද ද හේතු වීය. ඔවුන්ගේ ප්‍රධාන ජිවනෝපාය ලෙසද යන්ත්‍ර මන්ත්‍ර කලාව ජනප්‍රිය වීමත් මගින් මෙය බිහි වු බව කිව හැකිය.
අතීතයේ ගුප්ත විද්‍යාවන් ඉතා ප්‍රබල තත්ත්වයක තිබු බව මෙම විස්තර වලින් පැහැදිලි වේ. තමා නොපෙනී සිටිමින් සතුරන් වැනසිය හැකි මන්ත්‍ර රාවනා විසින් භාවිතා කර ඇත. රෝග සුව කිරීම්, විෂ බැඳීම් හා කැපීම්, සොරුන් ඇල්ලීම් හා බරපතල දඬුවම් පැමිණවීම, යකුන් ප්‍රේතයන් බැඳගෙන වැඩ ගැනීම්, වින කිරීම හා බෙර රබන් පැලිම්, ආසන වලට අලවා තැබීම්,අංගම්, තාලම් ඉරි පැන්නුම්...
රාවනා රජ සමයේ පවා ගුප්ත විද්‍යා ක්‍රම පිළිගත් විද්‍යාවක් ලෙස පිළිගෙන ඇත. එන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මගින් විවිධ ව්‍යාධි තත්ත්වයක් ඇති කර බව අතීතය සාක්‍ෂි දරයි. විවිධ බලගතු මන්ත්‍ර ශාස්ත්‍රයක් තිබු බවට පෙනි යන කරුණු නම් යකුන් ප්‍රේතයන් බැඳගෙන වැඩ ගැනීම යනුවෙන් පෙන්වා ඇත. ඒ තරම් දියුණු ක්‍රම විද්‍යා කලාවක් තිබු බවත් විවිධ අනවිණ, කොඩිවින, හුනියම් මගින් මනුෂ්‍ය ජිවිත විනාශ කර දැමු අයුරුත් දැකගත හැකිය.

ලෝකයේ ගුප්ත ඉතිහාසය ගත් විට ඉහත කරුණු මගින් එය විකෘති වු ආකාරය පිළිබඳව විද්‍යාමාන වේ. මෙය ප්‍රධාන ලෙස ආගමික බලපෑමක් මගින් බිහි වුවක් වීම මගින් එක් එක් ආගම් අනුව අභිචාර විදි වල යම් යම් වෙනස්කම් දැකගත හැකිය. මූලික වශයෙන් ආගමික විකාශනය අභිචාර සඳහා බලපා ඇත යන්න ගම්‍ය වන්නේය.
ලංකාවේ ගුප්ත විද්‍යා ප්‍රභවය හා ඉතිහාසය ගත් විට එය ඈත අතීතය දක්වා ගමන් කරයි. රාම රාවනා කාලයේ සිට මෙය පැවතුනු බව පැරණි ග්‍රන්ත වල සඳහන් වේ. ලංකාවට මෙය විවිධ ආගම් සමඟ සංක්‍රමණ වු බව පෙන්වා දිය හැකිය. එනම් බුදු දහම මගින් අභිචාර ක්‍රම ව්‍යාප්ත වු අතර එසේම මුස්ලිම් වරුන් වෙළඳ ව්‍යාපාරිකයින් සමඟ බැලුවිට ඔවුන්ටම ආවේනික අභිචාර ක්‍රම ද ලංකාවට පැමිණවීම දැකගත හැකිය. තවද ඉන්දියාවෙන් භික්ෂුන් වහන්සේලා ලංකාවට සංක්‍රමණය වීමත් සමඟ ඉන්දියාවට ආවේනික වු අභිචාර ක්‍රම ලංකාව තුළ වර්ධනය විය. එසේ වර්ධනය වීමත් සමඟ ලංකාව තුළ අපට දැකගත හැකිවන්නේ බහු අභිචාර ක්‍රමවේ. බහු ආගමික රටක් වන ලංකාව තුළ බහු අභිචාර ක්‍රම නිසා විවිධ ගුප්ත විද්‍යා ක්‍රම වර්ධනය වීමක් ගම්‍යමාන වේ.
ශ්‍රී ලාංකික ගැමි සමාජය අධ්‍යයනය කළ ඊ.ආර්. ලිච්’ ගැමියා අලුතින් කුඹුරක් අස්වැද්දීමේදී ගමේ සියලු ගොවින් වනාන්තරයේ සුදුසු භූමි භාගයක් තෝරාගෙන එතනට රැස් වී දෙවියන්ට ආරාධනා කොට සුභ නැකතකට ගස් කපා වැඩ අරඹන බව ප්‍රකාශ කරයි (දිසානායක,2010)
අතීතයේ සිටම ලංකාව තුළඅභිචාර විධි තිබු බව සාහිත්‍ය විමර්ශනය මගින් පැහැදිලි වේ. එනම් යම් සුභ සිද්ධියක් කිරීමට පෙර නැකැත් සැදීම, වෙලාවල් බැලීම මගින් සුභ හෝරා මගින්ද බලාපොරොත්තු වන්නේ අවසානයේ යහපත් ප්‍රතිඵලයකි. තවද දෙවියන්ගේ ආරක්ෂාව මේ මගින් බලාපොරොත්තු වේ. අද කුඹුරක් වගා කරන විට හොඳ වේලාවක් බලා බීජ ඉසිම කරනු ලබන අතර මෙය පැරණි චාරිත්‍ර ක්‍රමයකි. ඒ මගින් පෙනි යන්නේ යාතු කර්ම මෙන්ම අභිචාර විධි අතීතයේ සිටම පැවත එන්නක් බවයි. මෙසේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත ඇති කිරීම මේ මගින් බලාපොරොත්තු වේ.
කෝට්ටේ රාජ්‍ය සමයේදි සිංහල බලි යාගයක් බිහි වන්නේ බෞද්ධ සභ්‍යත්වයක් මූලික කොටගෙන මෙතෙක් බලියේ පැවති බලි පූජා පිදේනි ඉවත් කරවමිනි. වීදාගම හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් බිහිවන බලිය වු කලි ලංකාවේ යාග කිරීම කෙරෙහි බෞද්ධ භික්ෂුන්ගේ අනුග්‍රහය නොමගව ලැබීම සම්බන්ධ කදිම නිදසුනකි. (ජිනදාස,2010)
ලාංකිය ජන සමාජය තුළ භාවිත වන තවත් එක් ගුප්ත විද්‍යා ක්‍රමයක් ලෙස බලි හඳුනාගත හැකිය.මෙම බලි කෝට්ටේ යුගයේ පවා දැකගත හැකි අතර මෙයට දිර්ඝ ඉතිහාසයක් ඇත. කෝට්ටේ යුගයේ මිනිසුන් තුළ මේ පිළිබඳ ඇදහීම දැකගත හැකිය. එසේම දැඩි එල්ඹ ගැනීමක් තිබුණේය. ලංකාව තුළයන්ත්‍ර මන්ත්‍ර මෙන්ම බලි යාග පන්සල් ආශ්‍රය කරගෙන බිහි වු බවක් මේ මගින් සනාථ වේ. පන්සල් තුළින් සමාන්‍ය ජනතාවට මෙය ලංකර දිම හා සුදානම මත මේ ගුප්ත විද්‍යා සියල්ල රඳා පවතින බවද ඒ මගින් ජන ජිවිතයට එක් කරන බව පෙන්වා දිය හැකිය.

ඈත අතීතයේ සිට ම යන්ත්‍ර ඇඳීම සහ ලිවීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කොට ඇත්තේ රත්තරන් තහඩු, රිදි තහඩු, තඹ තහඩු හා පුස්කොළ ය. ඊට අමතරව සුළු සුළු ශාන්තිකර්ම හා රෝග සුව කිරීම සඳහා කෙම් ක්‍රම භාවිතා කරමින් උළුවහු, යටලි ශාක පත්‍ර ආදියේ යන්ත්‍ර හා සමාන ජ්‍යාමිතික සටහන් අදිමින් ශාන්තියක් උදාකරගෙන ඇත. (රත්නායක, 2017)
මුල් යුගයේ යන්ත්‍ර මන්ත්‍ර කටපාඩම් මගින් පමණක් තිබු බවත් පසුව ඒවා විවිධ උපකරණ භාවිතා කරමින් විවිධ තහඩු මත ලිවීමක් සිදු විය. තවද ඒ මගින් යන්ත්‍ර ශාස්ත්‍රයක් ලිඛිත ලෙස බිහි වු අතර ඒ මගින් ලංකාව තුළ යන්ත්‍ර ශාස්ත්‍රය ජනප්‍රිය වීම හදුනාගත හැකිය. පුරාණ ලංකාවේ ජනයා පන්සල වටා කේන්ද්‍ර වු අතර ඒ නිසා බොහෝ විට අතීතයේ යාග කර්ම, මන්ත්‍ර කලාව පන්සල කේන්ද්‍ර කරගෙන බිහි විය.
ඉහත කරුණු අනුව බලන විට ලංකාව තුළ බහු යන්ත්‍ර මන්ත්‍ර කලාවක් දැකගත හැකිය. මෙසේ බහු යන්ත්‍ර කලාවක් බිහි වීම සඳහා දේශිය විදේශිය අක්‍රමණ මෙන්ම සංක්‍රමණ ප්‍රබල ලෙස බලපා ඇත. ගනුදෙනු මෙන්ම ජාත්‍යන්තර සබඳතා මගින්ද ලංකාව තුළ ගුප්ත කලාව බිහි වී ඇති බව කිව හැකිය.
පර්යේෂකයා මෙහිදි ප්‍රධාන ලෙස යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් දෙස අවධානය යොමු කිරිමට අපේක්ෂා කෙරේ. එසේම මෙම යන්ත්‍ර මන්ත්‍ර වල ඉතිහාසය මීට ඉහතදි සාකච්ඡා කළෙමු. යන්ත්‍ර යනු පත්‍රවල හෝ වෙනත් තඹ තහඩු වල ලියන ලද අක්‍ෂර ක්‍රමයක් වේ. මෙය කිරීමේදී ප්‍රධාන ලෙස එය කරනු ලබන යන්ත්‍රකරුවා පේවි සිටීම අනිවාර්ය වේ.

යන්ත්‍ර සකස් කිරීම සඳහා භාවිතා කරන්නේ රන්තහඩු, තඹ තහඩු සහ පුස්කොළ බව මෙහි ඉහත සඳහන් විය. එහෙත් ඒවා එක එක් කෙනාගේ හිතු මතයයට කරනු නොලැබේ. ඒ සඳහා සම්මත මිමි ඇත. ශාස්ත්‍රය පදනම් කරගත් එම මිමි ක්‍රම සම්ප්‍රදායක් සේ භාවිතයේ පවති (රත්නායක,2017)
යන්ත්‍රයක් සකස් කිරීමේදි පළමුව යන්ත්‍රකරුවා පේවීම සිදු කළ යුතු අතර යහපත් මනසකින් සිටිය යුතුය. එසේ නොවන විට සිදු වන්නේ උච්ඡාරණයේ යම් යම් අඩු පාඩු කම් වේ. තවද අදාළ පුද්ගළයා නිර්මාංශ විය යුතු අතර නියම ආකාරයට පුද පූජා කිරීම මගින් නියම ප්‍රතිඵල ලගා කරගත හැකිය. යන්ත්‍රයක් ජප කිරීමට ප්‍රථම එම ස්ථානය හා එම ස්ථානයේ සිටින සියලු දෙනාගේ කිළි දෝෂ අයින් කරගත යුතුය. ඒ සඳහා භාවිතා වන මන්ත්‍ර ලෙස,

            ඕං ත්‍රිෂ්ට්‍යා අසජ්ජ උරිංචි පොන්තාල් නමෝ ඒස්වා හ:   (රත්නායක,2017)

            යනමන්ත්‍රය භාවිත කළ යුතුය. ඒ මගින් සම්පූර්ණ පිරිසිදු වීමක් බලාපොරොත්තු වේ.
මන්ත්‍ර යනු එක්තරා නීති රීති සමුදායකට අනුකූලව නිපදවා ගන්නා ලද වචන එකතුවක් ලෙස හැඳින්වෙන අතර මතනහෙවත් මනස මෙහෙයවා කරන චින්තනය හා ව්‍යුක්ත වීම යන අර්ථය දෙන ත්‍රානයන කොටස් දෙකම එක් වීමෙන් සැඳි ඇත. අනුසාරයෙන් ගොඩ නගා ගන්නා ලැබු ඥානය මගින් සියලු බැඳිම් වලින් එනම් සංසාර බැඳීම් වලින් නිදහස් වීම වේ. සෑම මන්ත්‍රයකම යම් කිසි අරුතක් ගැබ්ව ඇත.
මන්ත්‍ර ප්‍රධාන කොටස් 03 කි.
1        පුරුෂ ලිංග මන්ත්‍ර                                                                                          
          මේවා පුරුෂ ලිංග දේවතාවන්ට අයත් වේ.
2        ස්ත්‍රි ලිංග මන්ත්‍ර                                                                                                                    මේවා ස්ත්‍රී දේවතාවන්ට අයත්ය. ස්වාහායන ශබ්දයෙන් අවසාන වේ.
3        නපුංශක ලිංග මන්ත්‍ර
          මේවා නමඃ යන ශබ්දයෙන් අවසන් වේ.
මන්ත්‍ර වලට අනුගත වු නිර්මාණ වු විවිධ පිළිවෙත් ගණනාවක් ඇත. ඒවා පහත දැක්වේ.
1        ගණ දෙවියන් පිදීම
2        මන්ත්‍ර කාර්යට වරම් ලබා ගැනීම.
3        අදාළමන්ත්‍ර දේවතා හෝ යක්‍ෂයා සිහි කොට කාර්ය සාධනය අපේක්‍ෂා කිරීම.
4        ඇදුරු ආරක්ෂාව සලසා ගැනීම.
5        නාම ජිවම සිදු කිරීම.
6        පුජා විධි සිදු කිරීම
7        දිෂ්ටි ලබා ගැනීම.
8        ජපය ආරම්භ කිරීම (රත්නායක,2012)
මන්ත්‍රයක් ජප කිරීමේදි අනෙක් යාතු කර්මවල මෙන් පිරිසිදු භාවය වැදගත් වේ. එනම් කිළිනොතිබිය යුතුය. කිළි ඇති විට මන්ත්‍රයේ ගුණ ප්‍රමාණාත්මක ලෙස ලබා ගත නොහැක.  මන්ත කාරක මත්පැන් හා මස් මාංශ වලින් තොර විය යුතුය. මේ සියල්ලෙන්ම වැළකි මන්ත්‍ර ජප කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වන අතර රෝග සුව කළ හැකි වේ.

            යන්ත්‍ර මන්ත්‍ර ගැන විග්‍රහ කරන විට ප්‍රධාන ලෙස හඳුනාගත හැකි කරුණක් වන්නේ අෂ්ට කර්ම වේ. මෙය බෙහෙවින් වැදගත් වන අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ප්‍රභේද 08 කින් යුක්ත වේ.
1ග     වශි කර්ම
2ග     ආකර්ශන කර්ම
3ග     මෝහන කර්මය
4ග     ස්ථම්භන කර්මය
5        ශාන්ති කර්මය
6        විද්වේශ කර්මය
7        උච්චාටන කර්මය
8        මාරණ කර්මය
යනාදියයි.

මේ සියලු යාතු කර්ම වලින් බලාපොරොත්තු වන්නේ යම් අමනුෂ්‍ය බලයක් නිසා ඇති වු රෝගාබාධ සුව කිරීමයි. එසේම ඒ මගින් යම් මානසික ශාන්තියක් බලාපොරොත්තු වන්නේය.
ගුප්ත විද්‍යාව වර්තමානය වන විට විශාල වශයෙන් සමාජගත වී ඇත. දිනෙන් දින එම විශ්වාසයන් වටා ජනතාව එක්වී ඇත. කෙම්මුර දිනයන්හිදී දේවාලයන්හි විශාල ජනතාවක් දැකගත හැකි බව දෙනගම උතුර පදිංචි ගුප්ත විද්‍යාචාර්ය ඇම්.ඩී ඩයස් හේමකීර්ති පවසයි. තාක්ෂණයෙහි දියුණුවත් සමඟ පසුගිය කාල වකවානුව වන විට ගුප්ත විද්‍යාව යම් ආකාරයක පසු බැසීමක් දැකගත හැකි වුවත් වර්තමානයෙහිදී තාක්ෂණය සමඟ බද්ධ වෙමින් ගුප්ත විද්‍යාව නව පියවර රාශියක් ඉදිරියට ගොස් ඇත. වර්තමානයෙහි පුවත්පත් මාධ්‍ය නිරීක්ෂණය කිරීමේදී ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පත්හි විශාල වශයෙන් ගුප්ත විද්‍යාව පිළිබඳව දැන්වීම් අඩංගුව ඇත. එහිදී තැපැල් මඟින් ගෙන්වා ගැනීම දක්වා අද ගුප්ත විද්‍යාව වර්ධනය වී ඇත. ඒ අතර නව මාධ්‍ය හා සම්බන්ධ වෙමින් ජ්‍යොතිෂ්‍ය කටයුතු විශාල වශයෙන් සිදුවේ. හඳහන් පරීක්ෂාව, පොරොන්දම් පරීක්ෂාව, නැකැත් සහ වෙනත් ගුප්ත විද්‍යාවන් නව මාධ්‍ය හරහා සිදුවීම හේතුවෙන් වඩා සක්‍රීය ලෙස මෙම කටයුතු වලට නැඹුරුවී ඇති ආකාරය හඳුනාගත හැකිය. නැකැත් බලා සුබ ගමනක් යාමද ආරම්භ කිරීමට මිනිසුන් අදටත් පෙළඹී ඇත්තේ මෙම ගුප්ත විද්‍යාවේ බලපෑම හේතුවෙනි.



ආශ්‍රිත ග්‍රන්ථ

අමරසේකර,දයා,2012.,සමකාලීන ශ්‍රී ලංකා සමාජය,වරකපොළ,ආරිය ප්‍රකාශකයෝ.
අමරසේකර,දයා,2016.,සමාජ විද්‍යාව සිද්ධාන්ත සහ විධික්‍රම,කොළඔ 10,ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
කහඳගමගේ,පියසේන,1995,.කෙතක මහිම-කෙම් පහන්,කොළඔ 10,ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
කෝට්ටගොඩ,ජිනදාස,1995,පහතරට ශාන්තිකර්ම සාහිත්‍යය,කොළඔ 11,දළුවත්ත ප්‍රින්ටර්ස්.
ජිනදාස,මනෝජ් පුෂ්ප කුමාර ඩබ්.ඩබ්,2010.,බලි සන්නිවේදනය,කොළඔ 10,ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
දිසානායක,උඹේසේකර,2010,.අභිචාර,වරකපොළ,ආරිය ප්‍රකාශකයෝ.
ධර්මදාස,කේ.එන්.ඕ,1998,.සිංහල විශ්වකෝෂය(9 වැනි කාණ්ඩය),සංස්කෘතික දෙපාර්තමේන්තුව.
රත්නපාල,නන්දසේන,2001,.මානව විද්‍යාව,වරකපොළ,ආරිය ප්‍රකාශකයෝ.
රත්නපාල,නන්දසේන,2012,.සමාජ විද්‍යා පර්යේෂණ මූලධර්ම,වරකපොළ,ආරිය ප්‍රකාශකයෝ.

රත්නායක,රුවන්,2017.,යන්ත්‍ර මන්ත්‍ර ගුරු අත්පොත 1,ජා-ඇල,සමන්ති පොත් ප්‍රකාශකයෝ.

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...