Search This Blog

Friday, August 18, 2017

පින්ක් චිත්‍රපටය හා කාන්තාව.................


පින්ක් යනු අනුරුද්ධ රෝයි චෞද්‍රි විසින් 2016 වර්ෂයේදී ප්‍රේක්ෂක අභිමුඛ තබන ලද සිනමා සිත්තමකි. මෙම සිනමා සිත්තම දැඩි සමාජ විවරණයක් සහිතව ඉදිරිපත් කොට ඇති විශිෂ්ට නිර්මාණයකි. විශේෂයෙන්ම පුරුෂාධිපත්‍ය සහිත සමාජයක් තුළ කාන්තාවට හිමි විය යුතු සම අයිතිවාසිකම් පිළිබඳව මෙම නිර්මාණය තුළ ප්‍රබලව දැකගත හැකිය. මෙම චිත්‍රපටය තුළ කේන්ද්‍රගත වන්නේ උසාවියක්, නඩුවක් හා නීතිමය ප්‍රශ්න කිහිපයක් වටාය.


දිල්ලියේ සැපපහසු වටපිටාවක කුලී නවාතැනක සිටින, රැකියාවල නිරත, නිදහස් තරුණ ගැහැණුන් තිදෙනෙකු හා කුහකත්වයෙන් හා ආත්මාර්ථයෙන් යුත් පිරිමි කිහිප දෙනෙකුත් තමන්ගේ සමාජ ක්‍රමය නිසා පත්වන අවසානාවන්ත තත්ත්වයත්, බුද්ධියත්, මනුෂ්‍යත්වයත්, නීතියත් නිසා කන පිට පෙරෙළෙන එසේ සමාජය වෙනස් විය යුතුයි යන්න පෙන්නුම් කරන සිනමා පටයක් ලෙස
පින්ක්හඳුනාගත හැකිය. කාන්තාවක් ලෙස  සමාජය තුලදී පුරුෂයා මෙන් නොව කාන්තාවට වරදිකාරියක් කිරීම පහසු බව මෙමඟින් පෙන්වා දී ඇත. කාන්තාවකගේ ගමන බිමන ඇයගේ ඇදුම පැළදුම කෑම බීම ඇය වැරදිකාරියක් කිරීම සඳහා හේතු වන බව මෙම සිනමා සිත්තම තුළින් පිළිබිඹු කරයි. කාන්තාවත් ලෙස රාමුගත වූ ජීවිතයකට හිමකම් කියන්නාවූ සමාජ ක්‍රමයක් තුළ ඇය එම සීමාවන් අතික්‍රමණය කිරීම හේතුවෙන් කෙතරම් ගැටලු සිදුවේද යන්න පිළිබඳව ඉතා විචාරත්මක ඇසකින් මෙන්ම කාන්තා දෘෂ්ටි කෝණයකට අනුව නිර්මාණය වී ඇත.

පින්ක් යන වචනාර්ථයෙන්ම එහි ගැබ්ව ඇත්තේ කාන්තාව යන්නයි. උපතේ දීම කාන්තාව සඳහා නියම කරන ලද වර්ණය වන්නේ රෝස වර්ණයයි. එසේම එම වර්ණය හා කාන්තාව හා සමඟ විශාල සම්බන්ධතාවක් පවතී. උපතේදී ගැහැණු දරුවෙකු ඉපදුන හොත් රෝස පැහැයත් පිරිමි දරුවෙක් ඉපදුන හොත් නිල් පැහැයත් තීරණය වීම සම්ප්‍රදායික පිළිගැනීමයි. මෙම චිත්‍රපටය කේන්ද්‍රගත වන්නේ කාන්තාවන් තුන් දෙනෙකු වටා සිදුවන්නාවූ සිද්ධි දාමයකි. කාන්තාවක් වශයෙන් සමාජ ක්‍රමය තුළ අසරණභාවයට පත්වීම පිළිබඳව එහිදී වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් කරයි.

පින්ක් තුළ ඉස්මතු කර පෙන්වන්නේ නූතනත්වය සමඟ කාන්තාවගේ වෙනස්වීම් හේතුවෙන් මතුවන්නා වූ ගැටලු කිහිපයක් පිළිබඳවයි. එහිදී ඇයට අවශ්‍ය ආකාරයෙන් ඇදුම ඇඳීම, ගමන් බිමන් යාම මෙහි රාමුගතවීමක් සිදුව ඇති ආකාරය හඳුනාගත හැකිය. ෆ්ලැට් එකක් තුළ නිදහසේ ජීවත්වන තරුණ ගැහැණු ළමුන් තුන් දෙනෙකු හා සල්ලිකාර පිරිමි ළමුන් තිදෙනෙකු වටා ගෙතී ඇත. මෙම තරුණ ගැහැණු ළමුන් තුළ ඇති සම්බන්ධතා විවිධ වන අතර ඇතැම් විට සමාජ අසම්මතයන් ලෙසද කෙනෙකුට දැකිය හැකිය. මෙහිදී

-           මිනල්
-           ෆලක්
-           ඇන්ඩ්‍රියා  යන චරිත තුන හදුනාගත හැකිය.

මෙහි දී ෆ්ලැට් එකෙහි නිදහසේ ගත කරන තරුණියන් තිදෙනා රාත්‍රියෙහිදී පාටියක් සඳහා සම්බන්ධ වන අතර එහිදී අඳුරගනු ලැබූ පිරිමි ළමුන් තිදෙනෙක් සමඟ ඔවුන් සමඟ හෝටලයකට යන අතර ඔවුන් සමඟ මත් ද්‍රව්‍ය භාවිතා කරමින් සතුටින් කාලයගත කරනවා. එහිදී එම තරුණ පිරිස විසින් එම තරුණියන් අතපත ගෑමද සිඳුකරයි. මේ අතර එක් එක් තරුණයන් එක් එක් තරුණිය සමඟ විවිධ කාර්යයන් සඳහා එම කාමරයෙන් පිටතට පැමිණෙන අතර මිනල් නම් තරුණිය සමඟ එක් තරුණයෙකු එම කාමරය තුළ තනිවේ. එම තරුණයාද දේශපාලන වශයෙන් ශක්තිමත් පියෙකුගේ පුතෙකි.එම නිසා ඔහු මුදල් අතින්ද ඉතා ඉහළින් සිටී. මෙහිදී මිනල් සමඟ ලිංගිකව එක් වීමට උත්සාහ කරන අතර ඇය එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔහු ඇයට දිගින් දිගටම ලිංගික කාර්යය සඳහා පොළඹවා ගැනීම සඳහා කටයුතු කරනවා. එම ප්‍රතික්ෂේප කිරීම ගැන තැකීමක් නොකර  ඇය සමඟ සිටීමට උත්සාහ කිරීම හේතුකොට ගෙන ඔහුගෙන් මිදීම සඳහා අතට අසුවන බෝතගයෙන් ඔහුගේ ඔලුවට ගහනවා. එම සිදුවීමත් සමඟ තරුණියන් තිදෙනා එම ස්ථානයෙන් පැන ටැක්සියකින් තමා සිටින ෆ්ලැට් එකට නැවත එනවා. මෙම සිදුවීම් පෙළ ආරම්භයේදී නොවන අතර කිසිවෙකුටත් සිතාගත නොහැකි ස්ථානයකින් කතාව ආරම්භවේ.

සිතාගත නොහැකි ආකාරයට ඔලුවෙන් ලේ වහනය වන එක් තරුණයෙකු කාරයෙහි නංවාගෙන ඔහුගේ යාලුවන් කිහිපදෙනෙකු රෝහල වෙත යයි. එම ස්ථානයෙන් කතාව ගලා යාම ආරම්භ කරයි. එතැන් පටන් ආරම්භ කරන කතාව තුළ ඇත්තේ අනෙක් ප්‍රස්තුතයන් සම්බන්ධ කර කතාව ඉදිරියට ගෙන යයි. ඉන්පසුව තරුණ ගැහැණු ළමුන් තිදෙනාව පෙන්නුම් කරන අතර ඔවුන්ගේ බිය මුසු මුහුණු කිහිපය තුළින් යම්කිසි ගැටලුවකට මුහුණ පා ඇති බව කියාපායි. ප්‍රේක්ෂකයාද මෙසේ වීම සඳහා හේතු සොයයි.

මෙම සිදුවීම් සමුදායත් සමඟම මෙම තරුණ පිරිස මෙම කානතාවන් පසු පස පන්නමින් තර්ජනය සිදු කරනවා. එහිදී ඔවුන් විසින් විදින්නාවූ වේදනාවන් සිනමා සිත්තම තුළ මනාවට නිර්මාණය කොට ඇත. කාන්තාවක් ලෙස සමාජය තුළ මුහුණ දිය නොහැකි ආකාරයට ඔවුන්ට මෙම සිදුවීමත් සමඟ මුහුණ දීමට සිදුවෙනවා. ෆලක් සේවය කරනු ලැබූ ස්ථානයෙන් ඇයට ඉවත් වීමට සිදුවනවා. ඒ සඳහා හේතු වූයේ ඇයගේ නිරුවත් වූ ඡායාරූපයක් එම තරුණ කණ්ඩායම විසින් එම ආයතනයෙහි ප්‍රධානියා අතට පත් කිරීමත් සමඟයි. එහිදී ඇය සමාජ මාධ්‍ය තුළ ඇයගේ එම ඡායාරූපය පළ කරමින් ඇයට බලපෑම් සිදුකරන ලදි. එහිදී ඇයට ආයතනයෙන් ඉවත්වී යන ලෙස ආයතන ප්‍රධානියා විසින් පවසයි. එහිදී ඇයට ආයතනයෙන් ඉවත්ව යාමට තරම් විශාල තර්ජනය ඔවුන් විසින් සිදු කරන ඇත. ඇය දෙස ආයතනයෙහි අනෙක් පිරිමින් ඇය දෙස ඔරොප්පු බැල්මක් හෙලන ලද්දේ ඔවුන්ගේම එකෙකු මෙය සිදුකළ බව නොදැන විය හැකිය. ඇය නිර්දෝෂී වුවත් ඇයට තමාගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට තරම් සාධක නොමැති විය. ඇයට එම ආයතනයෙන් ඉවත්වීමට සිදුවිය.

ඇයට මෙම කරදර පිළිබඳව පැමිණීලි කිරීමට පොලිසියට ගිය විට පවසා සිටියේ  එය ගණන්ගත යුත්තක් නොවන බවයි. එදින ඇය මත්වි්‍ය ගෙන ඇති බවත්ය. දේශපාලනයෙහි ඇති ශක්තිය හේතුකොට ගෙන ඇය විසින් ගෙනෙන ලද පැමිණීල්ල භාර නොගනී. ඔහු ඇයගේ පැමිණිල්ල සටහන් කර නොගත් අතර ඒ වෙනුවට ඇයට පවසන්නේ ඇය ආරක්ෂිත බවත් එය එතරම් ගණන්ගත යුත්තක් නොවන බවත් පවසයි. ඉන් පසුව ඇය ඇය සේවය කරන ස්ථානයෙහි ප්‍රධානී තුමිය සමඟ වෙනත් පොලිස් නිළධාරියෙකුගේ උපදෙස් පතයි. මිනල් උදෑසන ව්‍යායාම කරමින් සිටින විට ඇයව තරුණයන් පිරිස විසින් පැහැරගෙන යන අතර ඇයට කාන්තාවක් ලෙස එම අවස්ථාව තුළ නැඟී සිටීමට නොහැකිවෙනවා. ඔවුන් ඇයට කරදර කරන අතර ඇය නැවත ෆ්ලැට් එක අසලින් දමායයි. මෙම සිදුවීමෙන් පසුව විශාල වශයෙන් මෙම තරුණීයන්ට කරදර විඳීමට සිදුවිය.

මේ අතරතුර කාලයේදී ඇයව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසියෙන් ෆ්ලැට් එකට පැමිණෙයි.  එහිදී වටපිට සිටින්නවූ පිරිස ද ඔවුන් දෙස බලනා ආකාරයත් කාන්තාවක් ලෙස වරදක් සිදුවුවහොත් එය විශාල කොට සලකන සමාජ ක්‍රමයක් තුළ කාන්තාවට ඇඟිලි දිගු වන්නට යන්නේ ඉතා කෙටි වේලාවකි. මේ ආකාරයෙන් කාන්තාවක් ලෙස විශාල වශයෙන් කරදර විදීමට සිදුවිය. ඒ අතර ඔවුන්ගේ උදව්ව සඳහා කිසිවෙකු නොමැතිව අසරණ වන අතර එහිදී උදව්වට පැමිණෙන්නේ පැන්ෂන් ගිය නීතිඥවරයෙකි. ඔහු එම නඩුව තුළ ඉතා දක්ෂ ලෙස මෙහෙයවන අතර එම කාන්තාවන් විශාල වශයෙන් නීතිය ඉදිරියෙහි දී අසරණ වනවා. මේ ආකාරයට කතාව දිව යන අතර නීතිඥවරයාගේ දැඩි තර්ක හමුවේ නඩුව ජය ගත හැකිවෙනවා. මෙහිදී අධ්‍යක්ෂකවරයා එක් ස්ථානයකට ගෙන ඒමට උත්සාහ කරයි. ඒ අනුව කන්‍යාවක්වේවා, ගණිකාවක්වේවා, කුඩා ගැහැණු ළමයෙකුවේවා, පෙම්වතිය වේවා තැන තත්ත්වය, චරිතය, වෙනස්කමකින් තොරව එපා කීමේ අයිතිය හිමි බවයි.


එපා කියන්නේ එපා. ඒකට තවත් තේරුම් නෑ

ධනය බලය හමුවේ කාන්තාවට නීතියෙහි සාධාරණත්වයක් ලබා දීමට මෙම නීතිඥවරයා සමත් වෙනවා.
කාන්තාවක් ලෙස සමාජය ඉදිරියෙහි ඇදුම, පැළදුම, යන එන ස්ථානය යන්න හේතුවක් නොවන අතර කාන්තාවට තම අයිතීන් හිමිවිය යුතු බවත් අපරාධවලින්, අවනීතියෙන්, කුහකකමින් පිරි සමාජයක් තුළ කාන්තාව ද සාධාරණත්වය ඉටුවිය යුතු බව පසක් කර දීමට පින්ක් හරහා නව පියවරක් තැබීමක් ලෙස හදුනාගත හැකිය.

මෙය කාන්තාවක් වශයෙන් මානසික, සාමාජීය, සංස්කෘතිකමය වශයෙන් ඇයට ඇති බාධාවන් පු`ඵල්ව සමාජයට විවරණ කරයි. සමාජ ක්‍රමය වෙනස්විය යුතු බවත් කාන්තාවන්ට කාන්තාවන් ලෙස නිදහසේ කටයුතු කිරීමට අවස්ථාවක් හිමි බවත් කාන්තාවක් වීමම තම වරප්‍රසාදයන් අහිමි වීමට හේතුවක් නොවන බවත් මෙම සිනමා පටය තුළින් සමාජයට ගෙන එයි. පුරුෂයෙකු වීමම සමාජයෙහි වැඩි වරප්‍රසාද හිමි කරගැනීමට හේතුවක් නෙවන බවත්, මුදල බලය තුළින් තම පුරුෂ ශක්තිය පෙන්වීමම පුරුෂයෙකු වීමට හේතුවක් නොවේ. පුරුෂයෙකු වීමම කාන්තාවන්ට හිංසා පීඩා කිරීම සඳහා එකම හස්ත ලෙස නොවිය යුතුය. පටු අදහස් වලින් යුත් ආත්මාර්ථකාමී සමාජ ක්‍රමයක් තුළ කාන්තාවට එල්ලවන චෝදනාවන්හි බරපතල සමාජ තත්ත්වයන් මනාවට නිරූපණය කර ඇත.

ලංකාවටත් ඉන්දියාවටත් පොදු කරුණක් මෙම කතාව තුළ දිවයයි. එනම් කාන්තාවක් අතින් වරදක් වූ පසු ඇය සමාජය තුළ වෙන් කොට වෙනම ප්‍රතිරූපයක් ගොඩනැඟීමට උත්සාහ කරයි. මෙම කතාව තුළද දිවයන ප්‍රධෘන ධාරාව වන්නේ ද මෙයයි. කාන්තාවක් වූ පමණින්ම ඇය සමාජයෙන් කොන් කළ යුතුද? ඇයට තම කටයුතු ස්වාධීනව, ස්වකැමැත්තට අනුව සිදු කළ නොහැකිද යන්න මෙම චිත්‍රපට හරහා ප්‍රේක්ෂක මනසට සන්නිවේදනය කරයි. කාන්තාවක් වීම ඇයගේ සියලු නිදහසට සීමාවක් කිරීමට තරම් හේතුවක් වන්නේද යන්න ද මෙහිදී පැනනගින ගැටලුවකි. ලෝකය ඉදිරියෙහි කාන්තාවක් වීම නිසා නින්දා අපහාස ආදී සියල්ල විද දරා ගනිමින් අවසන කානත්ාවගේ අපිතිවාසිකම් ආරක්ෂා කිරීම සිදු කළ යුතුයි.අපරාදවේදයට  නීතියට ඉහළින් මිනිසත්කම තබා අද දවස වන විට ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි රටවල, සැබෑවටම විසඳිය යුතු මානුෂීය ප්‍රශ්නයක් පිළිබඳ විශිෂ්ට ආකාරයෙන් පින්ක් නමැති සිනමා කෘතියක හරහා ගොඩනැගීමට අනුරුද්ධ රෝයි නැමැති කලාකරුවා නිර්භීතව ඇත.

රාධිකා දිසානායක

No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...