Search This Blog

Sunday, June 25, 2017

භාරුත් කැටයම් ශිල්පියා..............

භාරුත් කැටයම්

අශෝක ස්ථම්භ හා සාංචි තොරණ හැරුණු විට සමකාලීන අනෙක් බෞද්ධ කලාකෘතින් ලෙස සැලකෙන්නේ භාරත් චෛත්‍ය, ප්‍රාකාරය හා කැටයම් සමූහයයි. මේ මෞර්ය කලාවට අයත් උසස් කෘතීන්ය. මේවා කවරකාලයකට අයත් දැයි තිරණය කිරීමට අපහසුය. ස්තූපය හා ඒවටා ඇති ගල් වැට ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට අයත් වේ යැයි ඊ.බී.හැමල්ගේ මතය වේ. ක්‍රි.පූ. 240 සිට 210 කාලයට අයත් යැයි කනින් හැම් ප්‍රකාශ කරයි. ක්‍රි.පූ.150 අයත් යැයි බෂාම්ගේ මතයයි.

භාරුත් චෛත්‍ය වටා ගල් වැටක් සාදා තිබුණු බවට සලකුණු ඇත. සතර පැත්තට දොරටු 4ක් වේ. මේ දොරටු 4ට තොරණක්ද විය. ඒවා සාංචි යේ  ඒවාට සමාන බව පිලි ගැනේ.එහෙත් වර්තමානයේ ඒවා දක්නට නොලැබේ. වැට කර ඇත්තේ ගල් පුවරු වලිනි.

එකක් අඩි 7ක් උස ගල් කණු 80ක් තිබී ඇත. මේ කණු අතර දොරටු දෙපස වූ කුලුණු විශේෂත්වයක් දරයි.ගල් වැටෙහි වටක් ප්‍රමාණය අඩි 330කි. එහෙත් දැනට ඇත්තේ ස්වල්ප කොටසකි. මේ ගල් වැට මුදුනේ යොදා ඇති පුවරු, ප්‍රාකාර ශීර්ෂ ශිලාව නමින් හැදින්වේ. ඒ මත කැටයම් යොදා ඇත. මෙහි බෞද්ධ කතා වස්තූන් කැටයම් කොට දැක්වේ. මෙහි සෙල්ලිපි සහිත කතාවස්තු 10 ක් පමණද, සෙල්ලිපි රහිත කතා වස්තූන් 20ක් පමණද සොයා ගෙන ඇත. මෙහි ජාතක කතා අතර වැදගත් තැනක් ගන්නේ කුරුංග මිග, මහාකපි, ඒරපත්‍ර, ඡන්දන්ත, කුක්කුට යන ජාතක කතාය. මේවා නිරූපණය කෙරුණේ කතාවක් කියන අයුරින්ය. පොදු ජනයාට පහසුවෙන් තේරුම්ගත හැකි වන අයුරින්ය. මේ කැටයම් ගැඹුරට යොදා නැත. කතාවේ විවිධ සිද්ධින් ගැන වැඩි තැකීමක් කර නැති බැව් පෙනේ. සෑම සිද්ධියක්ම එක්තැන් කර කතාව නිරූපණය කර නැත.

කුරුංගමිග ජාතකය නිරූපණය කර ඇත්තේ වෘත්තාකාර ගල් තලයකය. මෙහි දක්වා ඇත්තේ අවස්ථා තුනක් පමණි. පහල කොටසේ දියට වැටුණු මුවකු ද ,මිනකිසෙකුද ඒ මුවා විසින්ම මිනිසා බේරා ගන්නා අයුරුද තවත් අතකින් මිනිසා පෙන්වන ලද මුවාට රජු විදිනා අයුරුද, අනෙක් කොටසින් මිනිසා හා රජු මුවාට වැදගෙන සිටින අයුරුද නිරූපණය කෙරේ. මේ තලයට ශිල්පියා ඇතුලත් කර ඇත්තේ වැදගත්ම අවස්ථා කිහිපයක් පමණක් බව පෙනේ.

මේ කතා අතරින් ඉතා වැදගත් වන්නේ මහා කපි ජාතකයයි. මෙය ද කවාකාර තලයක දැක්වේ. එක් පසෙක වදුරන්ගෙන් පිරුණු විශාල ගසකි. අනෙක් පස එක් වදුරෙකු සහිත කුඩා ගසකි. මේ දෙක අතරින් ගලන ගගකි. ඒ ගගේ මාලු හා දිය රැල් ගග ගලන බව දක්වයි. ඉහලම කොටසේ නායක වදුරා ගසට පනින අයුරු දැක්වේ. මේ ජාතක කතා නිරූපණය කර ඇත්තේ හුදී ජනයාගේ  හන් සංවේගය සදහා ය.

සාමාන්‍ය ජනයාට යමක් පහසුවෙන් අවබෝධකරවීමේ පරමාර්ථයෙන් විය හැකිය.නාග, යක්ෂ හා යක්ෂණී රූප මෙහි දක්වා ඇත. ඒවා නිරූපණය කර ඇත්තේ එදා පැවති පොදු ඇදහිලි වලට පිටුපා නැති හෙයිනි.

බෂාම්ගේ මතය නම් මේවා නොදියුණු නොසියුම් ඒවා බවයි. මේවා ඇත් දත් කැටයම්කරුවන් විසින් කරන ලද හෙයින් ගල් කැටයම් ඔවුන්ට අලුත් මාධ්‍යයක් වීමෙන් දුර්වල වන්නට ඇතැයි සිතිය හැකිය යනු ඔහුගේ අදහසවේ. භාරුත් කැටයම් වල චලන ස්වභාවය අඩුය. සංසුන් බව දැක්වීමට උත්සාහ ගෙන ඇත. චිත්‍රයේ පසුතලයට අලංකාරයක් වන අයුරින් ගස් කැටයම් කිරීමේදී වැඩි සැලකිල්ලක් දක්වා ඇත. ස්වාභාවිකත්වයෙන් ඈත්ව තිබේ. ශිල්පියා තමා දැක පුරුදු ගසක් සිතින් මවාගෙන කැටයම් කරන්නට ඇත. මෙහි ශෛලීය සාම්ප්‍රදායානුකූල එකකි. ශිල්පියා තුල වූ උද්වේගය.භාව රසය ඒ අයුරින්ම ලබා දීම ඔහුගේ පරමාර්ථය වී ඇත.
සාංචියේ මෙන්ම භාරුත් කැටයම්වලද බුදුන් වහන්සේ වෙනුවට සංකේත යොදාගෙන ඇත. බෝ ගස, ශ්‍රී පාදය, හා ධර්‍ම  චක්‍රය යොදා තිබේ. අනේපිඩු සිටු බුදුනට දෙව්රම් වෙහෙර පුදන තැන බුදුන් වෙනුවට යොදා ඇත්තේ බෝ රුකය. අජාසත් රජු බුදුනට වදින තැන ඇත්තේ සිරිපතුලය. “අජත සද භගවතෝ වන්දතේ“ එහි යට ඇත. කොසොල් රජු බුදුන් වදින තැන යොදා ඇත්තේ ධර්ම චක්‍රයයි. එහි යටින් ලියා ඇත්තේ “භගවතෝ ධම්ම චක්කාමි“ යනුවෙනි.

ඒරකපත්‍ර නාග රාජයා බුදුහු හමුවූ තැන බුදුන් වෙනුවට යොදා ඇත්තේ බෝගසයි. භාරුත් ශිල්පියා සත්ත්වරූප නිරූපණයට වැඩි සැලකිල්ලක් දක්වා ඇත. ජාතක කතා බොහොමයක ප්‍රධාන චරිතය වි ඇත්තේ සතෙකි. ඡද්දන්ත ජාතකයේ - ඇතාද, කුරුංගමිග ජාතකයේ - වදුරා, ඒරකපත්‍ර ජාතකයේ - නාගයා ආදී ලෙසිනි. මිනිසුන් අතර නැති ගුණ සතුන් අතර ඇති බව පෙන්වා මිනිසුන්ට උපදේශයක් දීම මින් අදහස් කෙරේ. බෝ සතුන් පරාර්ථ චරියාවේ යෙදෙන සැටි පෙන්වීමද මෙයිනි කෙරිනි. රීස් ඩේවිඩ් ගේ නිගමනය නම් චෛත්‍ය වටා ජාතක කතා නිරූපණය කර තිබුණේ මිනිසුන් තුල ශ්‍රද්ධාව දියුණු කිරීමටය. 



රාදිකා දිසානායක
කැළණිය විශ්ව විද්‍යාලය



1 comment:

  1. ගොඩක් වටින ලිපියක් ස්තීතුයි.

    ReplyDelete

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...