සිනමාපටය සදහා 28 ලෙස නම් ලැබී ඇත්තේ කාන්තාවගේ ඔසප් වීම අලලාය. එම සිනමා පටයෙහි ස්එවාභාවික නීතිය සදහා තැන හිමිව ඇති බව නම මෙන්ම කතාවෙහි අන්තර්ගතයද සාක්ෂි සපයයි.
සුද්දී
(සේමිනි ඉද්දමල්ගොඩ) නම් දූෂණය කර මරා දමන ලද රූමත් කාන්තවගේ මළ සිරුර, පොලිසිය
දැන්වූ පරිදි හඳුනාගෙන, ඇගේ සැමියා වන ‘අබසිරි‘ (මහෙන්ද්‍ර
පෙරේරා) විසින් තම නිවසට රැගෙන යනු ලබමින් සිටියේය. විවාහයෙන් තෙමසකට පසු සැමියා
අතහැර යන සුද්දී, අබසිරි විසින් මෘත ශරීරාගාරයේදී හඳුනාගනු ලබන විට ඔවුන්ගේ
විවාහයට වසර පහළොවක් ගතවී තිබුණි. අබසිරිගේ නිවස පිහිටා තිබුණේ දුෂ්කර කඳුකර
පළාතකයි. එතරම් දුරකට බිරියගේ මෘත ශරීරය ගෙනයෑමට මුදල් අත නැති අබසිරි අයිස්ක්‍රීම්
විකුණන වෑන්රියක රියදුරු ලෙනින්ව (සරත් කොතලාවල) ඒ සඳහා උපායශීලීව කැමති කරවා ගනී.
රියදුරු කැමති වන්නේ වාහනයේ වහල මත තබා ගෙන හිස් මිනී පෙට්ටිය රැගෙන යාමටයි. එහෙත්
අබසිරි ලෙනින්ගේ ඇස් වසා මිනිය සහිත පෙට්ටිය වාහනයට පටවයි. රාත්‍රියේ පිටත් වන ගමන
එළිවන ජාමය වන විට කඳුකරයේ, තේ වතු මැදින් වැටී ඇති වංගු සහිත පටු මාවතකට පිවිස තිබුණි.
හිටි හැටියේ පිටුපසින් ආ වාහනයක් නිමක් නැතිව නළාව නාද කරන්නට විණි. කලබල වූ
ලෙනින්ට අබසිරි පවසා සිටියේ මොනම හේතුවකටවත් එම වාහනයට තම වාහනය ඉස්සර කරන්නට ඉඩ
නොදෙන ලෙසයි. අබසිරි කී ලෙස මහ මඟ තරගයට පණ පොවමින් ලෙනින් තම වාහනය ඒ දුෂ්කර
මාර්ගයේ සෑහෙන දුරක් පදවාගෙන යයි. එහෙත් ලෙනින් පරදවමින් පිටුපසින් ආ වාහනය ඉස්සර
කළේය. එපමණක් නොව වැදගත් පණිවිඩයක්ද එහි ගමන් ගත් අයෙක් අබසිරිලායට දැන්වීය. අයිස්
ක්‍රීම් වාහනයේ වහල මත තබා බැඳ තිබූ පෙට්ටිය මහමඟ වැටුණු බව එයින් කියැවිණි.
පිටුපසින් පැමිණි වාහනය නළාව නාද කරන්නට ඇත්තේ ඒ බව දන්වන්නටයි. එහෙත් අබසිරිලා
කල්පනා කළේ තම වාහනය පරදවා ඉස්සර කරන්නට පිටුපස වාහනය ඉඩ ඉල්ලන බවයි. පෙට්ටිය බිම
වැටුණු පුවත අසා පිරිසට දෙලෝ රත් විණි. මත් පැන් බී සිටි ලෙනින්ට එමෙන්ම අබසිරිට
හා ඔවුන් සමග සිටි අබසිරිගේ ඥාති පුත්‍රයා වන ‘මනී‘ටද
(රුක්මාල් නිරෝෂ්) පියවි සිහිය ආවා වැනි විය.
අප
ජීවත්වන සමාජයේ ජීවිත ගැන දිග හැරෙන මේ ගමනම එක අතකට විහිළුවකි. අනෙක් අතට
ශෝකාන්තයකි.
බිම
වැටුණු පෙට්ටියෙන් මෘත ශරීරය එළීයට වීසි වී ඇත. මෘත ශරීරය සරසා අන්දවා තිබූ සුදු
සාරියේ පිට පළුව නැතිව පෙනී සිටින ‘සුද්දී‘ ඇගේ කතාව
කියන්නට පටන් ගත්තේ මෘත දේහයක් සැරසීමට පවා පණ ඇති අය රැවටිල්ල යොදා ගන්නා බව
පෙන්වමිනි.
ඇගේ කතාව
පමණක් නොව ඇය මෙන්ම ඇය වැනි කාන්තාවන් දූෂණය කරන, මරා දමන
පිරිමින්ගේ කතාවද ඇය පවසන්නට වූයේ ඇත්ත කියන්නේ පණ පිටින් සිටින අය නොව මිය ගිය අය
බව ද අවධාරණය කරමිනි.
ඇගේ කතාව
දෘශ්‍යමාන සමාජයේ, දේශපාලන කතාව ද විය. නිෙවස ඇතුළේම, මහ මඟ ප්‍රසිද්ධියේම, අනන්තවත්
රහසේම අතවරයට, දූෂණයට ලක්වන හා අනතුරුව මරා දැමෙන කාන්තාවගේ කතාව ඇගේ ද
කතාව විය. කාන්තාවට එකී ඉරණම අත්කරන්නට දායක වන්නන් හුදෙකලා වැරදි කරුවන්ද යන්නත් ‘සුද්දී‘ ප්‍රශ්න
කරන්නීය. එනම් කාන්තාවට මේ ඉරණම අත්වන්නේ සමස්ත සමාජයම වගකිව යුතු වරදක් හේතුකොට
ගෙන ද යන්න ඇගේ කතාවෙන් ඉස්මතු වේ.
වත්මන්
සමාජයේ ඇසෙන දකින සිදුවීම් සිහිපත් කරන, මේ චරිත වටා ගොඩ නැඟී ඇති ‘28‘ සිනමා
පටය මඟින්, බැලූ බැල්මට අපට නොපෙනෙන ‘සොබා
දහමේ දේශපාලනය ගැන ද අවධානය යොමු කළ බව එහි අධ්‍යක්ෂවරයා වන ප්‍රසන්න ජයකොඩි
පවසයි.
‘ලිංගික
වුවමනාවන් මනුෂ්‍යාට උපතින්ම පැවරෙන, සොබා දහමෙන්ම පැවරෙන වගකීමක්.
විවෘතව කතා කළ යුතු, අවබෝධයට ගත යුතු, ලිංගිකත්වය සංස්කෘතිය විසින්
ලජ්ජාසහගත දෙයක් බවට පත් කළා. රහසේ කළ යුතු දෙයක් බවට පත් කළා. කෙටියෙන්ම කියනවා
නම් සංස්කෘතික කුහකත්වය විසින් ලිංගිකත්වය කුණුහරුපයක් බවට පත් කළා. සංස්කෘතිය
වෙනස්වෙන දෙයක් වුණත් මේ දූපතේදි එය සිදුවෙන්නෙ හරි හිමින්. සුද්ද මෙහෙට ගෙනත් බෝ
කළ ‘කුහක සදාචාරය‘ පදනම් කර ගත් වික්ටෝරියානු
සංස්කෘතිය දැන් යුරෝපයත් අත්හැරල හුඟක් කල්. එහෙත් අපේ සමාජය තවමත් ඒ හිරවීමෙ
ඉන්නව. එය අත්හරිනවා තබා ආගමටත් මේ වික්ටෝරියානු සදාචාරය ඇතුළත් කර ගත්ත. මේ තේමාව
ශ්‍රී ලාංකික සිනමාව මඟින් සාකච්ඡා කළා මදි.‘
‘සමාජයක්
ලෙස ගත්තොත් අපි පුදුමාකාර තෙරපුමක, අතෘප්තියක, අවුලක
පසුවෙන බව තමයි හැම අතින්ම පෙනෙන්නෙ. ඊට හේතුව ලිංගික වුවමනාව නිදහසේ මුදාහරින්නට
අවස්ථාව නැතිවීම. එයින් අදහස් කරන්නෙ අනෙකාගේ නිදහස, අයිතිය
උදුරාගෙන තමන්ගෙ වුවමනාව ඉටුකර ගන්නට යාමට ඉඩ තිබිය යුතුයි කියා නෙමෙයි. ගැහැණිය
දූෂණය කරන, ඒ වෙනුවෙන් ඇය මරා දමන තත්ත්වය මතුවෙලා තියෙන්නෙ, ලිංගිකත්වය
කුණුහරුපයක් බවට පත්වීමෙන්. බඩගින්නට කෑම ටිකක් නැති වූ විට අනෙකාව මරා දමන
සමාජයක් මොනතරම් පිරිහිලාද? ඒ වගේමයි ලිංගික වුවමනාව ඉෂ්ට කර ගන්නට නොහැකිව ගැහැනිය මරා
දැමීම.‘
‘මේ වරද
කරන පිරිමියා හුදෙකලා වරදකරුවෙක් නොවන බව අප වටහා ගත යුතුයි. ඒ වරද සමස්ත සමාජයම
වග කිව යුතු වරදක්. මොකද මනුෂ්‍යාට ලිංගික වුවමනාව ඇති කරන්නෙ සොබා දහමේ
දේශපාලනයෙන්. අපට පෙනෙන දේශපාලනයට වඩා සොබා දහමේ දේශපාලනය බලවත්. තම වර්ගයා බෝ
කිරීමේ වුවමනාව සොබා දහමෙන් පැවරෙන වගකීමක්. මේ ගැන විවෘතව අවබෝධයට ගන්නටවත්
අවස්ථාව නැහැ. පාසල් අධ්‍යාපනයේ ඒ ඉඩ අහුරල. නිෙවසේ ඒ ඉඩ ඇහිරිල. අඩු තරමින්
විවාහ ජීවිතය ඇතුළෙවත් ඒ නිදහස තිබිය යුතුයි කියන අවබෝධය නැහැ. ඉතිං මේ සමාජීය
තෙරපීම රහසේ, හොරන්, අවස්ථාව ලද සැණින් පිට කරනව. මෙය
සමස්ත සමාජයම වගකිව යුතු, අවබෝධයෙන් විසඳාගත යුතු ප්‍රශ්නයක්.‘
අබසිරි
තම බිරිය ලෙස සුද්දි කැන්දන් ආ දවස්වල ඇය ගමේ ඇස්වලට රසඳුනක්ම විය. පොදු ළිඳට ඇය
නා කියා ගන්නට ගිය කල එතැනට එන තරුණ මහලු පිරිමි පිරිස ක්‍රමයෙන් ඉහළ ගියේය. ඇය
වටා පිරිමි රැස් වීම ඇගේ වරද වූ අතර විසඳුම වූයේ නිෙවසට නාන කාමරයක් තැනීමයි.
දැන් ඇය නා කියා ගන්නේ නාන කාමරයකයි. එහෙත් එයින්ද ගැටලුව විසඳුනේ නැත. ඇගේ නිරුවත
දැක ගැනීමේ කුහුල වෙනත් වටයකින් යළි කරළියට පැමිණෙයි. එනම් ඇය නාන විට නාන කාමරයට
නන්නාඳුනන අයෙක් එබෙන්නට වීණි. කවුළුවෙන් එබුණේ වෙනත් කවුරුත් නොව ඇගේම මාමණ්ඩිය
බව පසුව හෙළි විණි. එහෙත් වරද පැටවුණේ ඇයටමයි.
මාමණ්ඩිය
හොරෙන් නාන කාමරයට එබුණේ ඇය නිරුවතින් නාපු නිසාලු. මේ කතාව තව අතකින් ලංකවේ කලා
විචාරය ගැන ද පහදයි. තමන්ට කලා කෘතියක් නිර්මාණය කරන්නට නොහැකිවීම හා ඒ නොහැකියාව
කුහක ලෙස පිට කිරීම අද බොහෝ කලා විචාරකයන්ගේ විචාර ස්වභාවයයි. අද ඇත්තේ නාන කාමරයට
හොරෙන් එබී කරන කලා විචාරයකි. කවියක්, ගීතයක්, නවකතාවක්, නාට්‍යයක්, චිත්‍රපටයක්
නිර්මාණය කරන්නට හැකියාව නැති වීමෙන් හට ගන්නා ඊර්ෂ්‍යාව මාක්ස්වාදයෙන් හෝ වෙනත්
එවැනි මතවාදයක පොත්තෙන් ඔතා දමා ගැසීම මේ විචාර කලාවේ ස්වභාවයයි. අඩු තරමින්
අනෙකාගේ කලා කෘතියක සුන්දරත්වය හෝ ලස්සන හෝ විමසන මනසින් හෝ කලාකරුවා දිරි ගන්වන
අරමුණ ඇතිව හෝ නොව මේ කලා විචාරකයන් මාධ්‍ය ඉඩ පුරවන්නේ, හොරෙන්
කවුළුවෙන් බලන මානසිකත්වයෙනි. ‘28‘ චිත්‍රපටය මේ විචාරකයන්ගෙන්
බේරාගෙන ප්‍රෙක්ෂකයා අතරට ගෙනයාම ගැන ප්‍රසන්න ජයකොඩි ගෙන් විමසුවෙමි.
‘අද කලා
විචාරවලින් සිද්ධ වෙන්නෙ අදාළ නිර්මාණයට හොඳකට වඩා නරකක්. ඇත්ත, සුද්දිට
අත්වෙන ඉරණමම තමයි චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හෝ නිර්මාණය ගොඩනැඟූ අයට හෝ අද ඇති
විචාර කලාවෙන් අත්වෙන්නෙ. බොහෝ විචාරකයන් කරන්නෙ තමන් පොතකින් කටපාඩම් කර ගත්
මතවාදයක එල්ලිලා දහසක් දුෂ්කරතා මැද මහන්සියෙන් කරන නිර්මාණය දූෂණය කිරිම. ‘28‘ චිත්‍රපටය
හැදුවෙ නිෂ්පාදනයට 15 දෙනකු එකතු කරගෙන. එයින් පේනව ‘28‘ හදන්න
වෙච්ච කැපවීම. එහෙම වුණත් මේ චිත්‍රපටය හදල ප්‍රදර්ශන අවස්ථාව ලබා ගන්න අවුරුදු
හතරක් පෝලිමේ ඉන්න වුණා. ඒකයි ඇත්ත. ඊට හේතු වෙන්නෙ සියල්ල මුදල් මත තීන්දු වීම.
මුදල් සඳහාම හදන චිත්‍රපට ගැන නම් ඔය කියන විචාරකයන්ට වුණත් වගක් නැහැ. ‘පොරක්‘ වෙන්නෙ
හොඳ චිත්‍රපටයක් නිර්දය විවේචනයට ලක්කිරීමෙන්ය කියා මේ අය හිතනව වෙන්න පුළුවන්.
විචාර කලාවටත් එහෙම සංස්කෘතික පදනමක් අවශ්‍යයි. විචාර කලාව කියන්නෙ කොහෙන් හරි
අහුලා ගෙන හිතේ හදාගෙන ඇති අච්චුවකට කලා කෘතිය එබ්බවීම නෙමෙයි. මං ප්‍රේක්ෂකයන්ගෙන්
ඉල්ලන්නේ, තමන් ජීවත්වෙන සමාජයේ රහසේ මෙන්ම එළිපිටත් සිදුවන මේ
ඛේදවාචකය තමන්ගේම විචාරයට හසු කරන්න. සුද්දි කියන කතාව තමාගේම කතාව හෝ තමා ළඟම
අනෙකා ගැන කතාව හෝ විය හැකියි. අබසිරි ගේ කතාව අප ජීවත්වන සමාජයේ රහසක් නැති රහසක්
විය හැකියි. සිනමා ශාලාවට ගොස් එය තමාගේම විචාරයට හසු කරන්නැයි මා ප්‍රේක්ෂකයාගෙන්
ඉල්ලනව.‘
‘සොබා
දහමේ දේශපාලනය යනුවෙන් කරන හැඳින්වීම ගැනත් විශේෂයෙන් යමක් කිව යුතුයි. මේ චිත්‍රපටයට
‘28‘ යනුවෙන් නම් තබන්නෙ සොබා දහමේ දේශපාලනය හඳුන්වන්නට ඇති හොඳම
අංකය එය නිසා.
චන්ද්‍රමාස
යනු අපේ පැරණි මාස ක්‍රමය. උපදින්නෙත් හඳට. මැරෙන්නෙත් හඳට. පිස්සු හැදෙන්නෙත්
හඳට. බුදු වෙන්නෙත් හඳට. එය ආසියාතික අපගේ විශ්වාසයයි. හඳේ චක්‍රයටත් ගැහැනියගේ
ඔසප් චක්‍රයටත් ගත වෙන්නෙ දින විසිඅටයි. ඒ තමයි සොබා දහමේ දේශපාලනය.‘
තම
නිරුවත් සිරුර අබසිරි පළමු වරට දකින්නේ එම්බාම් කාමරයේදී බව සුද්දී පවසයි.
සුද්දිගේ මිය ගිය සිරුර දකින තුරු අබසිරි තම බිරියගේ නිරුවත් සිරුර පවා දැක තිබී
නැත. මෙරට සංස්කෘතිය තුළ විවාහක යුවළකටවත් එවැනි නිදහසක් නැති බවයි එයින්
කියැවෙන්නේ. අවට සමාජයේ කුතූහලය නිසා තමන්ගේම නිවෙසකදී වුව එම ආගන්තුක බව ඇතිවිය
හැකියි. එනම් ලිංගිකත්වයට ආගන්තුක වන්නේ තම නිෙවස තුළදීමයි. එතැනින් මහපාරට, සමාජයට
පිවිසෙන විට එකී ආගන්තුක බවම එකිනෙකාට පාරාවළල්ලක් වෙයි. ලජ්ජා නොවිය යුතු,
අවබෝධයෙන්
මුහුණ දිය යුතු සිද්ධියක් සංස්කෘතික බලපෑම විසින් එවැනි
දුරස් අවස්ථාවකට පත් කරනු ලදුව අවසානයේ එකිනෙකාගේ හිත් ඇතුළේ පුපුරා යන අයුරු ‘28‘ සිනමාපටය
පුරා දිග හැරෙයි. මේ දිගහැරුම වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි ‘28‘ සඳහා 2014 දී
නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උලෙළින් හොඳම ආසියානු චිත්‍රපටයට පිරිනැමෙන NETPAC සම්මානය
දිනා ගත්තේය. ඒ අන්තර්ජාතික වශයෙන් ‘28‘ දිනා ගත් තවත් සම්මාන කිහිපයකට
අමතරවයි. මේ වන විට මෙම සිනමා පටය අන්තර් ජාතික සම්මාන සඳහා නිල තෝරා ගැනීම් 12 ක්
නියෝජනය කර ඇත.
මහා
වේගයකින් දශත දුවයන හිත මොහොතකට නතරවීම සංහිඳියාව වේ. එලෙස මොහොතකට හිත නතරකර
ගැනීමට පුද්ගලයකුට ඇති හැකියාව ශිෂ්ටසම්පන්නභාවය මත තීන්දු වන්නකි. පෘථග්ජන හිත
මොහොතකට නතර වන්නේ අහඹු සිදුවීමක් හේතුවෙන් ඇතිවන කම්පනය නිසා විය හැකියි. සාහිත්‍ය
කලා මාධ්‍යයට මේ අවස්ථාව ජන සමාජය වෙත පහළ කර දිය හැකි අතර සාහිත්‍ය කලාවන්ට
පැවරෙන වගකීමද එයයි. ‘28‘ ජන සමාජයේ එවැනි කම්පනයක් ඇති කළ හැකි හොඳ සිනමා පටයකි.
අලුත්
සිතිවිලි, සමාජය සුවපත් කරන අදහස්, පහන් සංවේගය ඇති කරන නිර්මාණ
පහළ වන්නේ මොහොතකට හෝ සංහිඳියාවට පත් අවස්ථාවේ පහළ වන අලුත් කල්පනාවන්ගෙනි.
43 වැනි රොටර්ඩෑම් අන්තර්ජාතික (NETPAC) සිනමා
සම්මාන උළෙලේදි ප්‍රසන්න ජයකොඩිගේ 28 ( විසිඅට) චිත්‍රපටයට ආසියාවේ
හොදම චිත්‍රපටය සදහාවන සම්මානය හිමිවී ඇත.
උපුටා ගැනීමකි.....
‘මේ වරද
කරන පිරිමියා හුදෙකලා වරදකරුවෙක් නොවන බව අප වටහා ගත යුතුයි. ඒ වරද සමස්ත සමාජයම
වග කිව යුතු වරදක්. මොකද මනුෂ්‍යාට ලිංගික වුවමනාව ඇති කරන්නෙ සොබා දහමේ
දේශපාලනයෙන්. අපට පෙනෙන දේශපාලනයට වඩා සොබා දහමේ දේශපාලනය බලවත්. තම වර්ගයා බෝ
කිරීමේ වුවමනාව සොබා දහමෙන් පැවරෙන වගකීමක්. මේ ගැන විවෘතව අවබෝධයට ගන්නටවත්
අවස්ථාව නැහැ. පාසල් අධ්‍යාපනයේ ඒ ඉඩ අහුරල. නිෙවසේ ඒ ඉඩ ඇහිරිල. අඩු තරමින්
විවාහ ජීවිතය ඇතුළෙවත් ඒ නිදහස තිබිය යුතුයි කියන අවබෝධය නැහැ. ඉතිං මේ සමාජීය
තෙරපීම රහසේ, හොරන්, අවස්ථාව ලද සැණින් පිට කරනව. මෙය
සමස්ත සමාජයම වගකිව යුතු, අවබෝධයෙන් විසඳාගත යුතු ප්‍රශ්නයක්.‘
චන්ද්‍රමාස
යනු අපේ පැරණි මාස ක්‍රමය. උපදින්නෙත් හඳට. මැරෙන්නෙත් හඳට. පිස්සු හැදෙන්නෙත්
හඳට. බුදු වෙන්නෙත් හඳට. එය ආසියාතික අපගේ විශ්වාසයයි. හඳේ චක්‍රයටත් ගැහැනියගේ
ඔසප් චක්‍රයටත් ගත වෙන්නෙ දින විසිඅටයි. ඒ තමයි සොබා දහමේ දේශපාලනය.‘
No comments:
Post a Comment