ලෝකය ලස්සන කරන්නට ගසක් මලක් හදන්නට ගොඩක් මහන්සි වෙනවා. කාෂ්ඨක අව්ව, වැස්ස, සීතල, දැඩි සුළඟ වගේ ගොඩක් දේ විඳ දරාගන්නවා. නමුත් මල පිපුණු දවසට ලෝකය සුවඳ කරන දවසට ගසට තරම් සතුටක් වෙන කාටවත්ම නෑ. ඒ මල හදන්න විදපු දුක දන්නේ රොන් ගන්න බඹරුවත් ලස්සන බලන අයවත් නෙවෙයි. ඒ ගහ විතරයි.
අපේ දෙමව්පියොත් ඒ වගේ. මේ ලෝකේ තියෙන සියලුම දුක් විදල අපි මේ ලෝකේ හැඩකාර වැඩකාර මිනිස්සු කරනවා. ඒ දුක වේදනාව දන්නේ දෙමව්පියො විතරයි. වේලක් නොකා අව්ව සීතල නොබලා මහන්සියෙන් හම්බ කරල දෙන්නේ දරුවන් වෙනුවෙන්. කන්න බොන්න ඇදුම් පැලදුම් වගේම හොදට උගන්නල ලොකු මිනිස්සු කරන අම්මටයි තාත්තටයි බලු කූඩුවක දාල වගේ හිර කරල, අනාථ මඩමක දලා හරි සලකනව නම් ඒ දෙමව්පියොන්ගේ වේදනාව ගැන මොහොතකට සිතුවද? ඔවුන්ට ඔබ අවශ්‍ය කාලෙ ඔබ ඔවුන්ව මග හැර යනව නම් ඔබ මනුෂ්‍යයෙක්ද යන්න දෙවරක් සිතා බලන්න. ඔබ නොදන්නවා ඇති අනාථ නිවාසයේ සිටින බොහොමයක් අම්මෙක්ගේ තාත්තෙක්ගේ බලාපොරොත්තුව තම දරුවන් නැවත දැකීම, දරුවන් සමග කාලය ගත කිරීම. ඒ අම්මගේ තාත්තගේ ඇස්වල තියෙන බලාපොරොත්තු, දුක වේදනාව කවද හරි ඔබට ශාපයක් වෙයි. කවදාවත් ඔවුන්ගේ සතුට විනාශ කරන්න එපා. මොකද ඔවුන්ගේ සතුට අමතක කරල ඔබට ජීවිතය ලබා දීල තියෙන දෙවියො දෙන්නෙක්. මලක් හදන්න ගහ විදපු දුක මල දන්නේ නෑ. එවගේම ඔබ හදන්න විදපු දුක ඔබ දන්නෙත් නෑ. අද මිනිසුන් තාක්ෂණයෙන් මෙන්ම දැනුමින් ද ස්වයංපෝෂිතයි. නමුත් මනුස්සකම මිනිසුන් තුලින් ක්ෂණයෙන් ක්ෂය වී ගොස්ය. කුඩා කල සිට ඇති කරන සුරතලා තනියට සිටින කාලෙක මුලු ජීවිතය කාලයම දරුවන්ගේ ඉගෙනීමට ජීවත් කරවන්නට වෙහෙසුන දෙමව්පියන්ට අවශ්‍ය මොහොතේ දරුවන් ලග නැත. තිරිසනුන් ලග මනුෂ්‍යයන්ට නැති ගතිගුණ ඇත. වැඩිහිටි නිවාස වල සිටින බොහෝ දෙමව්පියන්ගේ දරුවන් ඉගෙනිමෙහි හිණිපෙත්තට පැමිණි අයයි. නමුත් ඔවුන්ට මනුෂ්‍යත්වයේ පාඩම උගන්නන්නට දෙමව්පියන්ටද අමතක වී ගියා දැයි සැකයක් මතුවෙයි. ඒත් සත්‍යයක් ලෝකය තුල ඇත. ඔබ කොතැනක කෙබඳ තත්ත්වයක සිටියද ඔබත් දිනක වයස යනු ඇත. ඔබ ඔබගේ දෙමව්පියන්ට සලකන ආකාරයෙන් ඔබ වයසට ගිය විට ඔබට අත්වන ඉරණම ද ලියවන බව මතකයෙහි තබා ගන්න. ඔබත් ලෝකයම සුවදවත් කරන ලස්සන මලක් වන්න. ඒත් ඒ ගස කිසි දිනක අමතක නොකරන්න.
එස්.ඩී.ආර්. මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය
No comments:
Post a Comment