Search This Blog

Sunday, May 21, 2017

රට කන කතා


කතාව දෝලාවෙන් ගමන පයින් කියලා කතාවක් තියෙනවා. අද අපේ රටේ මින්ස්සුන්ගේ ලග තියෙන්නෙත් කතාව විතරයි. වැඩ නෑ. එයත් කිසිදු වැඩකයට නැති ඕපා දූප සම්ප්‍රලාප කයිවාරු බොරු පුරසාරම් අනං මනං විකාර බහු බූත නන් දෙඩවිලි තමයි බොහොමයක් තියෙන්නේ.
රට කන කතා ගැන කතා කරද්දි මගේ මතකයට නම් එන්නේ රජයේ ආයතන තමයි. බස් එකේදි දුම්රියේදි උදෑසනම පටන්ගන්න කතාව ඇදුමින් පටන් ගෙන නිදි පැදුර දක්වා දිවයයි. ආයතනයට පැම්ණෙන ඔවුන්ගේ කාලසටහනද සකස් වන්නේ දවසේ සිදුවීම්, තේ පානය හා ඇදුම් පැලදුම් ඇතුලත්වයි. ඔවුන් පැය ගණන් ඕපා දූප කියවති. ඔවුන්ගේ දේශපාලන මතිමතාන්තර, දරුවන්ගේ විස්තර හා තවත්  කෙනෙකුට අපහාස උපහාස සිදු කිරීමද මේ අතර හරි හරියට සිදුවෙයි. ඔවුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණි අසරණ ජනතාව දිගු පෝලිම්වලට වී ඔවුන්ගේ  සුන්දර කතා අවසන් වන තෙක් බලා සිටිති. දුර බැහැර සිට තම කටයුතු කරගැනීමට පැමිණෙන ජනතාව එක් වැඩක් කර ගැනීමට දෙතුන් වරක් පැමිණිමට අද සිදුව ඇත. මොවුන්ගෙන් බොහෝ දෙනෙකු රාජකාරී වේලාවෙන් භාගයක් ගත කරන්නේ අල්ලාප සල්ලාපයේ යෙදීමටයි. තවත් අයෙකු තම පෙම්වතා හෝ පෙම්වතිය සමඟ දුරකථන සංවාදයෙහි යෙදීමටයි. තවත් සමහරෙකු තම දුරකථනයෙන් හෝ තමාට ආයතනයෙන් ලබා දී ඇති පරිගණකයෙන් ටෙලිනාට්‍ය නරඹති. බලා එහි විස්තරයද අනෙක් අය සමඟ සාකච්ඡා කරති. ඒ අතරතුර මුහුණු පොතේ ද සැරිසමින් කාලය කා දමති. ජනතාව පිළිබදව ඔවුන්ට මතකයක් නැත. රජයේ කාර්යාලවලට පැමිණෙන ජනතාවට ඔවුන්ගේ දුරකථනයද අද මහා හිසරදයක් වී ඇත. 
බොහෝ අය ආයතනයේ දුරකථනය මගින් කිසිම හිරකිතයකින් තොර නිවසේ වැඩ සියල්ලම කළමණාකරණය කරති. සමහර අවස්ථාවන්හිදී  කෑම උයා, කවා, දරුවන්ට ඇදුම් අන්දවා නිදි කරන අවස්ථාව දක්වා කතාව දිගු වෙති. ඒ සඳහා සියලුම පහසුකම් රජය මඟින් නොමිලේ ලබා දී ඇත. ඔවුන් මේ සිදු කරන්නේ රට කන කතා නොවේද?. රාජ්‍ය සේවය මහජනතාවගේ කටයුතු පහසුකරන ආයතනයකි. නමුත් අද එහි නෝනලා මහත්වරුන්ගේ ක්‍රියා කලාපය නිසා ජනතාව පීඩනයට පත්කරන ස්ථානයක් බවට පත්ව ඇත. සංවර්ධනය කියා පේන මානයක් නොමැති අපේ රටේ ප්‍රධාන ආයතනයන්හි තත්ත්වය මෙසේ නම් තව නොබෝ දිනකින් ලංකාවට අනේ අපොයි කියා කීමට සිදුවේ. ඔවුන් නිකරුනේ පැය ගණන් කියවන බොරු පුරසාරම් කතා මදකට නතර කර මහජනතාවගේ සේවය ඉටුකරන්නේ නම් රාජ්‍ය සේවය මීට වඩා කාර්යක්ෂම හා ඵලදායීතාවයකින් යුක්ත ජනතා හිතවාදී ස්ථානයක් බවට පත්වෙනු ඇත.















එස්.ඩී.ආර්. මධුවන්ති
කෑළණිය විශ්ව විද්‍යාලය

No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...