චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපං පුංචි සාවියේ
ලාබ රත්තරන් දිලිසෙන පාලු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ
මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙනෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගෙයි ලගයි දුවේ
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද රචනයෙන් හැඩවූ ඉතා විශිෂ්ට
සංගීතඥයෙක් වූ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හා සුනිල් එදිරිසිංහ මහතාගේ ගායනයෙන්
හැඩ වූ අර්ථාන්විත ගීතයක් ලෙස මෙම ගීතය හදුනාගත හැකිය. ගීතයකින් බලා
පොරොත්තු වන්නේ හුදෙක් රස වින්දනයම පමණක්
නොව. ඒ තුලින් සමාජයට පණිවිඩයක් ද දෙන්නේ නම් එම නිර්මාණය ඉතාමත් සාර්ථක
නිර්මාණයක්වේ. මෙම නිර්මාණය ඒ ආකාරයෙන් නිර්මාණය වූ විශිෂ්ට ගනයේ නිර්මාණයකි.
තුරුණු සිතට ආමන්ත්‍රණයක් මේ තුල වේ. මෙම
ගීතය පියෙකු හා දියණියක් වටා ගෙතී ඇති සිදුවීමක් අලලා නිර්මාණය වූ ගීතයකි.
මවක්
නැති පවුල් පසුබිමක් තුල පියාවිසින්
ආරක්ෂා කළ දියණිය සෙයිලමේ තරුණයෙකු හා හොර රහසේ ගෙදරින් පැන යාමත් ඒ සමගම
පියගේ දුක් දොම්නසත් දරුවා කෙරෙහි තිබූ ආදරය සෙනෙහස මෙම ගීතයෙන් නිර්මාණය වී ඇත.
මව
නැතිව පියා තම දියණිය කුඩා කාලේ සිට කවා පොවා නාවා පාසල් යවා හරි ආදරයෙන් හදනවා.
ගෙදරක තාත්තට දියණියක් කියන්නේ ඔහුගේ ජීවිතේ වගේ. ඇයට උපමා කරන්නේ හදේ ඉන්න හාවිට. තාත්තට ඒ දරුව
ඒ තරමට වටිනවා. ‘‘චන්ද්‍ර
මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ” ගීතයේම ඇති අලංකාරම පද පේලියක්. එක චන්ද්‍ර
මණ්ඩලයයි තියෙන්නේ එහි සාවිය තමයි තමන්ගේ දියණිය. දෙමව්පියො මුලු ජීවිතේම කැප
කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. නමුත් දරුවන්ට ඒක තේරුම් ගන්න කාලයක් යනවා. ඒ බොහෝ
විට තමනුත් මවක් හෝ පියෙක් වුණ දවසට තමයි. නමුත් ඒ දරුවට
තාත්තව වටින්නේ නෑ. ඇය හොර රහසෙම හැංගිලා ගිහින් හරි, ආදරෙන් ඇති දැඩි කරපු ඇය තාත්තටත් නොකිය හොර
රහසේම පැන ගිහින්. “පාන නිවුන
සේ පාලුයි ලැයිම් කාමරේ” වෙනද ගෙදර තිබුණ කටහඩ හිනාහව කොමල කතා අද නෑ. අද තියෙන්නේ පාලුවක්.
දෙමව්පියොන්ට ගෙදර එලිය කරන ආලෝකය ලමයි. මෙහි පාන නිව්න සේ කියල තියෙන්නෙත් ගෙදර
පහන උනේ මේ දරුවා. ඒත් අද ඒ පහන නිවිල ගිහිල්ල. තාත්තට ලොකු ලොකු බංගලා තිබුණේ.
ඒත් තමන්ට තිබුණ ලැයිමේ කාමරේ දුවට
සුවපහසුව ඉන්න සලස්සනවා. මේ තාත්තගේ මුලු ලෝකයම අද අදුරු වෙලා වගේ දැනෙනවා. තාත්තට
දුව ගිය සෝකය දැනෙන්නේ ඒ ආකාරයට. අවුරුදු ගාණක් තමා ඇහැක් වගේ බලා ගත් දියණිය
තමාටත් නොකියාම පිටවෙලා ගිහිල්ලා. තාත්තා ඇති එකම ප්රශ්නය මෙපමණ ආදරය කරලත් දුවේ
උඹ මාව දාලා ගියේ ඇයි යන්නයි?
ලාබ රත්තරන් දිලිසෙන පාලු වීදියේ - ගෑණු ළමයි
පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ - අන්න ඒ නිසයි
මට දුක රත්තරන් දුවේ
සෙයිලමේ
තරුණයින්ගේ බහට රැවටිලා අපේ ගමේ තරුණියෝ අද උඹ ගිය ගමන ඔය විදියටම ගියා. ඒත්
සෙයිලමේ කොල්ලන්ව විශ්වාස කරන්න බෑ. උන්ට කෙල්ලන්ව ලාභ රත්තරන් වගේ. කිසිම
වටිනාකමක් නෑ. එදා ඒ විදියට ගමන් ගියපු ගොඩක් අයට අද ජීවිතේ වැරදිලා
දුවේ. උඹටත් සෙයිලම හුරුපුරුදු තැනක් නෙවෙයි
දුවේ. ගෙදරම වෙලා ඉදපු උඹට නගරය නුහුරු තැනක්. උඹ තරුණයෙක් එක්ක පැනල ගියාට කමක්
නෑ. ඒත් දුව ගිය නුපුරුදු නගරය ගැන තාත්තා දුක්වෙනවා. සිය දහස් වතාවක් මේ තාත්තා
සිතින් තැවෙනවා. දරැවෙක්ට කරදරයක් වෙනවාට මොනම දෙමව්පියෙක්වත් කැමති නෑ. මේ
තාත්තත් ඒ වගේ. තමන්ගේ දරුවා හෙට පාර වැරදිලා එන්න පුලුවන්. ඒ ගැන දුකින් තාත්තා
පෙලෙන්නේ.
සුදු
යකඩ මාල දාගත්ත කොල්ලො මගේ ගෙදර ලගට ඇවිතා හිටියට මේ තාත්තට කවදාවත් තමන්ගේ දරුවා
ඒ කොල්ලන් එක්ක මේ ආකාරයට ආදර සම්බන්ධයක් ඇති කරගෙන ඇති කියලා . තමන්ගෙ ගෙදර ලග මේ
පිරිමි ලමයා හිටියට තාත්තට කොයි වෙලාවකදීවත් තම දුව අවිශ්වාස කරන්නේ නෑ. තාත්ත තුල
තිබුණ විශ්වාසය කොපමණද කියනවා නම් “හීනෙනුත්
හිතුනෙනෑ මට මොකද කාරණේ ”.හීනෙකින්වත් තමන්ගේ දුව ගැන එවැනි අදහසක් තාත්තට තිබ්බේ නෑ. ඒත් දරුවන්ගේ
පලි ගන්න හිතක් දෙමව්පියන්ට නෑ. ඒ නිසා මේ තාත්තා කියන්නේ “පාර මතක නම් තාමත් ගෙයි ලගයි දුවේ” කියලා. ඔබට සෙයිලමට ගියාට කමක් නෑ. ඔබට කොයි
වෙලාවකදි හරි එන්න හිතුනොත් උඹට නපුරක් වුණොත් පාර මතක නම් උඹට හැමදාම දොර ඇරල
දුවේ. පියාගේ සෙනෙහෙ බර ඇරයුම වන්නේ එයයි.
සරල වුවත් ඉතාමත් සංවේදී ආකාරයට භාෂාව හසුරුවමින්
නිර්මාණශීලී පද රචනයක් සාර්ථකව යොදා ගෙන
ඇත. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද රචනය තුල සෑම විටම අලංකාර පද මාලාවක් ඇත. රස
විදින්නාට සමීප කරනවන්නාවූ භාෂා රටාවක් භාවිතය එතුමාගේ විශේෂත්වයකි. දියණයක් ලෙස
විවාහය නම් කරැණ තුල දි වඩාත් අවධානය යොමු කළ යුතු බවත් තම දෙමාපියන් තමකන්ට දක්වන
ආදරයත් ප්‍රතිනිර්මාණය කොට තරුණ හදවතට සියුම්ව ආමන්ත්‍රණය කිරීමේ හැකියාව එතුමා
සතුය. ගීතය අරුත් ගන්වන ආකාරයට ගායනා කිරීමට සුදුසු කටහඩ තෝරා ගැනිමද ගීතයක
සාර්ථකත්වයට හේතුවේ. ඒ අනුව සුනිල් එදරිසිංහයන් තුල ඇති සෙනෙහෙබර පියෙකුගේ මෙන්
වීමද මෙම ගීතය තරුණ හදවතට මනාවට දැනෙන නිර්මාණයක් වීමට හේතුවී ඇත.
කවදාවත් අම්මෙක්ගේ තාත්තෙක්ගේ ඇහින් කදුලක් අපි නිසා වැටෙන්න ඉඩ දෙන්න එපා. පුලුවන් නම් එකම එක සතුටු කදුලක් දෙන්න. ඒ සතුටු කදුල ඔබෙත් ඉදිරිගමනට පන්නරයක් වේවි. ඔබ දිනන මග දෙමව්පියන්ගේ සතුට වේවි.
කවදාවත් අම්මෙක්ගේ තාත්තෙක්ගේ ඇහින් කදුලක් අපි නිසා වැටෙන්න ඉඩ දෙන්න එපා. පුලුවන් නම් එකම එක සතුටු කදුලක් දෙන්න. ඒ සතුටු කදුල ඔබෙත් ඉදිරිගමනට පන්නරයක් වේවි. ඔබ දිනන මග දෙමව්පියන්ගේ සතුට වේවි.
එස්.ඩී.ආර්. මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය
No comments:
Post a Comment