Search This Blog

Sunday, May 28, 2017

දැරියකගේ කදුලු කතාවයි මේ......

 සුදු නෙලුම කෝ සොරබොර වැවේ
මල් සුවද දුන් මුතියංගනේ
පුන් පොහොයදා පහලොස්වකේ
මල් නෙලූ විකුණු පන්සලේ

වැවට කලුවර යා වුණා
සංසාර දුක බෝ වුණා
නෙලූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා

සිහින් සිරි පොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙලුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පා වුණා

‘අනේ අපෙනුත් මලක් ගන්න අපෙනුත් ගන්න‘ කියා සෑම විහාරස්ථානයකම නෙලුම් මල් විකුණන ගැහැණු ළමුන් හමුවේ. ඔවුන් මේ ආකාරයට කෑ ගසා සොයාන්නේ ඔවුන්ගේ එදා වේලයි. අපට කරදරයක් ලෙස ඒ හඩ ඇසුනත් මොවුන් දියේ කිමිද නෙලුම් මල් කඩා ඉතා සුලු මුදලකට විකුණයි. ඒ ඔවුන්ට වෙන රැකියාවක් නොමැතිකමම නිසා විය හැකිය. දරිද්‍රතාවයෙහි පහලම අඩියෙහි සිට තම දරුවා පාසලට යවන්නේ ද එම මල් විකුණා ගන්නා මුදලින් විය හැකිය. මේ එවැනි දැරියකට හිමි වුණ කදුල කතාවයි.

සුදු නෙලුම කෝ සොරබොර වැවේ - මල් සුවද දුන් මුතියංගනේ
පුන් පොහොයදා පහලොස්වකේ - මල් නෙලූ විකුණු පන්සලේ

සුදු නෙලුම අතිශය පියකරු චාම් මලකි. එයින් නිහතමානී ගුණ යහපත් බව හා පිවිතුරු බව පවසයි. මෙම ගීතයට මුල් වි ඇත්තේ සොරබොර වැවෙන් මල් කඩා මුතියංගන විහාරය අසල මල් විකුණන අහිංසක පිවිතුරු සුදු නෙලුමක් වන දැරියක් පිළිබදවයි. ඇය සෑම පොහොය දිනෙකම මේ ආකාරයෙන් විහාරය අසල මල් විකුණයි. නමුත් මේ පුන් පොහොදා ඇය දක්නට නැත. මුතියංගන විහාරය පුරා පැවති ඇයගේ නෙලුම් මල් සුවදද අද නැත. ඇත්තේ මුලු පන්සල පුරාම පාලු හා හිස් බවකි. ඒ නිසා ඇය පිළිබදව විපරම් කරයි.

වැවට කලුවර යා වුණා - සංසාර දුක බෝ වුණා
නෙලූ මල් මිට ඉහිරුණා  - එහා ඉවුරට පා වුණා

සොරබොර වැව අදුරුය. වෙනදා මෙන්  දවස ගෙවී යාම නිසා ඇතිවන අදුරක් ඒ තුල නැත. ඇත්තේ තනිකම පාලුව වැන්නකි. සංසාරයෙහි පුරුදු ලෙස අප ඉපදුන හොත් මරණය නලලෙහි කොටා ඇත. එසේම ඇයද පන්සලේ මල් විකුණුවද ඇයට සංසාර චක්‍රය එකසේ බලපා ඇත. එහි අනිත්‍යතාය තීව්‍ර කිරීම සදහා “නෙලූ මල් මිට ඉහිරුණා - එහා ඉවුරට පා වුණා“ ලෙස දක්වා ඇත්තේ ද අපට ගෙන යා හැක්කේ කරන ලද හොද නරක මිසක් භෞතික දේ නොවන බවයි. ඇයත් ඇයගේ මුලු ජීවිත කාලයම ඇය ගත කලේ මල් කඩා විකුණාය. නමුත් ඇය ඉරණම් ගමන ගොස් ඇත්තේ ඒ සියලු සම්බන්ධතා අතැහැරය. රත්න ශ්‍රී යන්ගේ අතිවිශිෂ්ට පද ගැලපුමක් ලෙස මෙය හදුනා ගත හැකිය. කිසිම අවස්ථාවක් ඇය මල් නෙලන්නියක් යන වචනය භාවිතා නොකරයි. ඒ හැම තැනම ඇයට යොදා ඇත්තේ “සුදු නෙලුම“ යන්නයි.

සිහින් සිරි පොද වෑහුණා - ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙලුම් මල දෑස පියවී  - මෙහා ඉවුරට පා වුණා

වෙනදා මෙන් එදිනත් උදෑසන සිහින් සිරි පොද වැටෙන්නේ ඇයට මල් කඩන්නට ඉඩ දෙන්නා මෙන්ය. නමුත් ඉවුර එය දනී. ඇය නැත මල් කැඩීමට නොපැමිණේ. ඇය වෙනදා උදෑසන පැමිණෙන්නේ සිහින් සිරි පොදත් සමගය. ඇය ගැන දන්නා දෙපස ඇති ඉවුරැ දෙක වේදනාවෙන් කදුලුසලයි. එහෙත් දැන් පරක්කු වූවා වැඩිය.ඇය නොඑනා ගමන් ගොස් ඇත. ඇය මල් කැඩීමට ගොස් දියේ ගිලී අනෙක් පස ඉවුරට පාව ගොස් හමාරය. ගීතයේ සැම තැනම ඇයට යොදා ඇත්තේ සුදු නෙලුමක් ලෙසයි. ඇය මල් කඩන්නේ පවුලෙහි ඇති අගහිගතා මගහරවන්නටයි.

මෙම ගීතයෙහි සැබෑ පසුබිම සොයා යෑමේදී එය රත්න ශ්‍රී යන්ගේ සැබෑ ජීවිතයේ අත්දැකීමක් බව සොයා ගත හැකිවිය.  ඒ රත්න ශ්‍රී විජේසිංහයන් මොනරාගල ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙක් ලෙස සේවය කරන කාලයේ වූ සිදුවීමක් අලලා නිර්මාණය කරනු ලැබූවකි. එතුමා උගන්වපු පාසලේ හිටිය එක්තරා ගැහැණු ළමයෙක් පැමිණීම මදිකම නිසා ඇය ගැන ටිකක් උනන්දුවෙන් හොයල බැලු අතර ඇය තාත්තා නැති ඇය ජීවත් වෙන්නේ අසනීප මව සමගය. පවුල ජීවත් කරවන්න මුදල් හොයාගන්නේ මේ කුඩා දැරිය. ඇය නෙලුම් මල් කඩල එම ප්‍රදේශයේ තිබුණු දෙමටමල් විහාරය වඳින්න එන අයට විකුනනවා. දිනක් මේ ළමය ගැන ආරංචියක් නැතුව යනවා. පසුව ඇයගේ මල සිරුර  වැව් ඉවුරේ තිබී හොයාගන්නවා. ඇගේ මරණයට රත්න ශ්‍රී විජේසිංහ මහතාත් සහභගී වෙනවා. ඇගේ සිරුර තැබීමට තරම්වත් නිවසේ ඉඩ නැහැ. කුඩා පෙට්ටියක පාසැල නිල ඇඳුමෙන් සැරසුණු ඇගේ සිරුර තබා තිබෙනවා. දැරියගේ මලගමට ඇඩීමටවත් ඒ අම්මට කදුලු තිබිලා නෑ. මොකද ජීවිතය ඔවුන් ජීවිතයේ පහලම කදුලු කතාවක් වුණ ඔවුන් ඒ වෙද්දි අඩන්න කදුලු තිබිල නෑ. රත්න ශ්‍රී විජේසිංහයන් සුදු නෙළුම කෝ ගීතය නිර්මාණය සිදු කරන්නේ මෙම සිදුවීම මුල් කරගෙනයි. රත්න ශ්‍රී යන් වර්තමාන සමය තුල අපට සිටින ශූරතම කවියා බව අටුවා ටීකා අවශ්‍ය නැත. රත්න ශ්‍රී යන් බහු අරුත් දැනෙන පද ලිවීමටද රුසියෙකි.

සුදු නෙලුම් මල හා එහි සුවද රත්න ශ්‍රී යන් ඉතාමත් තීව්‍ර සංකේතයක් ලෙස යොදා ගෙන ඇත.යථොක්ත පුවත ඉදිරිපත් නොකොට එය හැගෙන්නට සලස්වා ඇත. ඇත්තෙන්ම ගීතයක සාර්ථකත්වය රදා පවතින්නේ වාච්‍යාර්ථය ඉක්මවා යන ධ්වනිතාර්ථය ගැබ් ව ඇත්නම් පමණි. අහිංසක දැරිය මිය ගිය අයුරු අමරදේවයන්ගේ මිහිරි සරින් අනුවේදනිය නාද මාලාවකට ගයති. එය ශ්‍රාවක හද කම්පනය කරයි.
















එස්.ඩී.ආර්. මධුවන්ති
කැළණීය විශ්ව විද්‍යාලය

                                    

No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...