Search This Blog

Saturday, May 27, 2017

.රන් කෙන්දෙන් බැදි අතැගිලි එක් කළ ආදරය..................

රන් කෙන්දෙන් බැද 
අතැගිලි එක් කළ ආදරයයි
පෙම් රැහැනින් බැද 
සිතුම් වසල කළ ආදරයයි

කිරිලිය සේ පියාසලාලා 
අත්තටු රිදුනා පමණයි
දෑල විදාහල දෑත මගේ 
නුඹටත් ඔහුටත් උරුමයි

හිරු සදු එකවර දෙපස නැගේ
කලුවර ඇයි විජිතයම මගේ 
කණාටු සුළගේ දුහුල් මලකි ඈ
වල්මත් වී පාවෙන්නේ

ඔබගෙන් දෝ 
ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ

ආදරය හරි අමුතුම මානුෂිය භාෂාවක්ග ජීවිතය ජීවත් කර වන්නේ අදරයයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක සම්බන්ධයක් කියලා තමයි කවුරුත් කියන්නේ. ආදරයෙන් ජයග්‍රහණයත් පරාජයත් එක්සේම උරුමයි. දෙය ලං වෙද්දි තව දෙයක් නැති වෙන්න පුලුවන්. ඒ වාගේම විවිධ සමාජ තලයන් වලදී විවිධ ආකාරයෙන් ආදරය මිනිසාට බලපාන්නට පුලුවන්ග අනාරාධිතව පැමිණෙන ආදරය මිනිසාගේ ජීවිතයෙහි කොටසක් වෙන ආකාරය හරිම පුදුමාකාරයි.

දුහුල් මලක් චිත්‍රපටයෙහි එන ගීතයක් වන රන් කෙන්දෙන් ගීතයෙහි චිත්‍රපට අධ්‍යක්ෂණය විජය ධර්ම ශ්‍රී වන අතර සංගීතය සරත් දසනායකයන්ගේය. මෙම ගීතය අජන්තා රණසිංහයන්ගේ පද රචනය හැඩවුණකි. 
මෙම පද මාලාව සදහා පසුබිම වන්නේ විවාහක කාන්තාවක් මුහුණ දෙන ඉතා සංකීර්ණ මානසික ඝට්ටනයක් පිළිබදවයි. ඇය මංගල යොජනාවක් මත විවාහ සරසවි ඇදුරෙකු සමග විවාහ වන අතර ඇයට ටික කලකින් එම ආදරය කෙරෙහි කළ කිරීමක් ඇතිවේ. කෙළි ලොල් තරුණියක් වන ඇය කෙළිලොල් තරුණයෙකු සමග ආදර සබදතාවක් අරඹන්නේ තම ස්වාමි පුරුෂයාකාර්ය බහුල පුද්ගලයෙකු බව ඇයට මානසිකව දැඩි ලෙස බලපෑ හේතුවෙනි. ඇයගේ නව යොවුන් සිතුවිලි සියලුම සමාජ සම්මත කඩා බිද දමමින් ඔහු වෙත සමීප වේ.  තමා කරන්නේ වරදක් බව දැන දැනත් ඒ ආදරයෙන් මිදීමට ඇය උත්සාහ නොකරයි. හැගීම් පසු පස හඹා යන ඇගේ සිතුවිලි බුද්ධියට කිසි විටෙක ඉඩ නොදෙයි. එහෙත් තමාට පණ මෙන් ආදරය කරන ස්වාමි පුරුෂයා දැකීමෙන් ඇගේ සිත වේදනාවට හා ලතැවුලට පත්වේ.


රන් කෙන්දෙන් බැද
අතැගිලි එක් කළ ආදරයයි
පෙම් රැහැනින් බැද 
සිතුම් වසල කළ ආදරයයි

තමා විවාහක කාන්තාවක් වන අතර තම ස්වාමියා සමග පවතින ආදරය රන් කෙන්දකි. රන් ඉතා වටිනා ලෝහයක් වුවත් කැඩි යාමට ඇති ඉඩ වැඩිය. තමාගේ අනියම් සෙනෙහස ප්‍රේමය නැමැති  රැහැනින් වෙලී ඇති තම හැගීම් සිතුවිලි වසග ඛළ ආදරයකි. රන් කෙන්දට වඩා ඇයගේ හැගීම් වසගයට ගත් ආදරයක් ඇත. ඇය සතු ආදර කතාවෙහි ඇති සංකීර්ණත්වය මෙහිදී මනාවට පිළිබිඹුවේ. ඇය තුල ඇගේ සැමියා කෙරෙහි ලෙන්ගතුකමක් පවතීඑය සැමියාගේ ගති පැවතුම් සහ ඔහුගේ ආදරය සහ දුක සැප එකට බෙදාගෙන ජීවත් වීමෙන් හටගත්තකි. එහෙත් ඇය රාගයෙහි ත් ආලයෙහිත් සම්මිශ්‍රණයෙන් හට ගත් අනියම් ප්‍රේමය එම ගෞරවාන්විත හැගීම ඉක්මවා ගොස් ඇත. ඇයට ඇයවම පාලනය කර ගත නොහැකි ආකාරයට ඔහු වෙත ඇදී යයි. 

කිරිලිය සේ පියාසලාලා 
අත්තටු රිදුනා පමණයි
දෑල විදාහල දෑත මගේ 
නුඹටත් ඔහුටත් උරුමයි

ඇයට ඇයගේ සැමියා උපරිමයෙන් නිදහස ලබා දී ඇත. නමුත් ඇය එම නිදහසින් අයුතු ආකාරයෙන් ප්‍රයෝජන ගෙන ඇත. ඇයට නිදහස දී තිබුණද ඇයට අවශ්එ‍යව ඇත්තේ නිදහස නොව ආදරයයි. එම නිසා ඇය නිදහස තුල සෙව්වේ ආදරයයි. ඒ ආදරය අද දෙතැනක නතරව ඇත. ඒ ඔවුන් දෙදෙනා ලගයිඅද ඒ නිදහස ඇය රිද්දවයි. පාරවයි. ඇය මුහුණ දෙන්නේ ඉතාමත් සංකීර්ණ ගැටලුවකටය. ඇයට ඔවුන් දෙදෙනාම අවශ්‍යයයග එකෙකු අතහැර අනෙකා සමීපයට යාමට ඇයට සිත නොදෙයි

හිරු සදු එකවර දෙපස නැගේ
කලුවර ඇයි විජිතයම මගේ 
කණාටු සුළගේ දුහුල් මලකි ඈ
වල්මත් වී පාවෙන්නේ

ඔබගෙන් දෝ 
ඔහුගෙන් දෝ
ඹා හෙට දින සමුගන්නේ

ඇය මුහුණ දෙන්නේ සරල ගැටලුවකට නොවේ. අජන්තා රණසිංහයන්ගේ පද රචනයෙහි ඇති ප්‍රතිභාව මෙමගින් මනාවට හෙලිවේ. ඇයගේ ලෝකයෙහි හිරු සහ සදු ඔවුන් දෙදෙනාය. ඇයගේ ලෝකයට හිරු සදු එක වර පායා තිබුණද ඇයගේ ජිීවිතය අදුරේය. ඇයගේ සිතෙහි ඇති සිතිවිලි ඇති බර ගතිය ඒ තුලින් මනාවට දක්වා ඇත. ඇය විදින දුක උපරිමයෙන් වචන වලට පෙරලීමට අජන්තා රණසිංහයන් සමත්ව ඇත. ඇය කර ඇත්තේ සමාජ සම්මතයක් බිදලීමක් බව ඈ දනී. ඇය සමාජය තුල වල්මත් වී ඇත. මේ ආකාරයෙන් සමාජ අසම්මත වුවත් එම තත්ත්වයෙන් අද කොතරම් ගැහැණුන් පීඩා විදිනවා ඇතිද? ඇයද එම පසුබිම තේරුම් ගෙන සිටීසමාජ සම්බන්දතා වගකීම් යුතුකම් හමුවේ ඇය මුහුණ දෙන්නේ ඉතා බරපතල පීඩනයකටයි. ඇයට හෙට දිනයේ මෙම දෙදෙනාගෙන් කෙනෙකුගෙන්  වෙන්වීමට සිදුවේ. නමුත් ඒ අද නොව හෙටයි. ප්‍රශ්නය අනාගතයට භාර කර ඇත

අජන්තා රණසිංහයන් සරල භාෂාව මේ සදහා භාවිතා කළ ද ඒතුල මහා විශාල සමාජ කරුණක් විවරණය කර ඇත. සමාජය තුල කතා නොවන කරුණක් මේ ආකාරයෙන් සමාජය තුල විවරණය කිරීමට ඔහු සතුව ඇති පරිකල්පන ශක්තියෙහි විශිෂ්ටත්වය හා අපූර්වත්වය මනාවට පැහැදිලිය.

















 එස් ඩී ආර් මධුවන්ති 
කැළණිය විශ්ව විද්‍යාලය





No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...