Search This Blog

Saturday, July 29, 2017

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්..................

ලාංකේය ජන සමාජය තුළ ඈත  අතීතයේ සිටම පැවත එන විද්‍යාවන්ගෙන් එකක් ලෙස ගුප්ත විද්‍යාවහැඳින්විය හැකිය. ඒ අනුව පළමුවෙන්ම ගුප්ත විද්‍යාව යනුවෙන් අර්ථවත් වන්නේ කුමක්දැයි යන්න පිළිබදව අධ්‍යයනය කරනු ලැබේ.
ගුප්ත විද්‍යාව යනුවෙන් නිශ්චිතවම අර්ථ දැක්වීම ඉතා අපහසු කාර්යයකි. කෙසේවෙතත් ගුප්ත විද්‍යාවන් ලෙසට ජ්‍යොතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, සෙත්කවි, වස්කවි හා අධි මානසිකයින් සියල්ල හඳුනාගත හැකිය. එමෙන්ම ගුප්ත විද්‍යාවට අයත් සියල්ලම පර්යේෂකයා විසින් පර්යේෂණ කාර්යය සඳහා යොදා ගැනීමට අපේක්ෂා නොකරන අතර ජ්‍යොතිෂය හා බෞද්ධ වත් පිළිවෙත් යන ක්ෂේත්‍රයන් කෙරෙහිද අවධානය යොමු නොකිරීමට අපේක්ෂා කෙරේ.ඒ අනුව පර්යේෂකයා විසින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනුයේ ගුප්ත විද්‍යාවන්හී ප්‍රධාන ක්ෂේත්‍රයක් වන යන්ත්‍ර මන්ත්‍රකෙරෙහිය.

යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් පිළිබඳ අවධානය යොමු කිරීමේදී එය ප්‍රධාන කොටස් ගණනාවක් යටතේ විස්තර කරනු ලැබේ. එනම්;

  අණවිණ කොඩිවිණ                 ඉනාව
  වස් දොස් නිවාරණය                පිල්ලි
  වශී ගුරුකම්                            අංගම්
  නඩු ජයග්‍රහණ                         ග්‍රහ අපල නිවාරණය
  කෙම් ක්‍රම
ගුප්ත විද්‍යාව අභිවාර ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව අභිචාර යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්දැයි විද්වත් මත පිළිබද මෙහිදී අවධානය යොමු කරනු ලැබේ.
සිංහල විශ්වකෝෂයේ අභිචාරයන්න පැහැදිලිකෙරෙන්නේ මෙසේ ය. යම් කිසි අභිමතාර්ථයක් ඉටුකර ගැනීමට කරන අණ, විණ, හූනියම් ආදිය අභිචාරවිධි නමින් හැඳින්වේ (අමරසේකර,2012:160).
ඉහත නිර්වචනය අනුව පැහැදිලි වන්නේ පුද්ගලයින් තම දෛනික ජීවිතය තුළ මුදුන් පමුණුවාගැනීමට අපේක්ෂිත අරමුණු හා ඉලක්ක සපුරාගැනීම සඳහා අණවිණ, හූනියම් ආදී වූ අභිචාරයන් භාවිතයට ගැනීමට හුරුපුරුදු වී ඇති ආකාරයයි.
අභිචාර කියන්නේ අධි ස්වභාවික බලවේගයක් යම් කිසි ක්‍රමයක් මඟින් නතුකර ගැනීමයි. හොඳට හෝ නරකට මේ අභිචාර ක්‍රම යෙදවිය හැකිය. ඒවා ආගමික ක්‍රියාවලියෙන් වෙනස් වේ. යාඥාව හා පුදපූජාඅභිචාර ක්‍රමයයි. ඉන් ඉහළ බලවේගවලින්, දෙවියන්ගෙන් යම් යම් දේ ඉල්ලනු ලැබේ. අභිචාර මගින් කරන්නේ ඒවා මඟින්ම යම් යම් දේ ලබා ගැනීමය (රත්නපාල,2001).
නන්දසේන රත්නපාලයන්ගේ අර්ථ දැක්වීම අනුව අපට නොපෙනෙන බලවේගයන් තුළින් යහපත් හෝ අයහපත් ක්‍රියාවන් වෙනුවෙන් යම් යම් දේවල් ලබාගැනීමට උත්සාහ දරනු ලබන අතර ඒවා ආගමික ක්‍රමයන්වලින් ඉඳුරාම වෙනස් වන්නාවූ ක්‍රියාවලියකි.
අභිචාර පිළිබඳ පුළුල් විග්‍රහයක් ජේම්ස් ෆ්‍රේසර් විසින් ඉදිරිපත් කර ඇත. ඔහු අභිචාර යනුවෙන් හැඳින්වූයේ,“ආගමික සංස්ථාවේ ආරම්භයට පාදක වූ විශ්වාස හා ක්‍රියාකාරකම් පද්ධතියක් වන අතර කිසියම් අභිමතාර්ථයක් ඉටු කර ගැනීමට උපයෝගී කර ගන්නා බැවින් විද්‍යාත්මක බඳු වූවත් මිත්‍යා මත පදනම් කොට ගෙන ඇති බැවින් ව්‍යාජ විද්‍යාවක් යනුවෙනි” (අමරසේකර,2012).
ඉහත නිර්වචනය අනුව පැහැදිලි වන්නේ සමාජයේ වැදගත් සමාජ සංස්ථාවක් වශයෙන් විග්‍රහ කරනු ලබන ආගමික සංස්ථාවේ ආරම්භය සඳහා ද පාදක වූ විශ්වාස හා භාවිතාවන් පද්ධතියක් ලෙස අභිචාරයන් හඳුනාගත හැකි බවකි. එසේම මේවා මිත්‍යා මතවාද උපයෝගී කරගනිමින් පුද්ගල අභිමතාර්ථ සාධනය පිණිස භාවිත කරනු ලබන බව වැඩිදුරටත් විශ්වාස කරනු ලබන බවයි.
දයා අමරසේකරයන්ගේසමකාලීන ශ්‍රී ලංකා සමාජය සමාජ විද්‍යාත්මක විග්‍රහයනම් ග්‍රන්ථයේ දක්වා ඇති ආකාරයට අභිචාර වර්ධනය ෆ්‍රේසර් සමාජ පරිණාමයේ ප්‍රධාන යුග තුනක් ඔස්සේ ඉදිරිපත් කරනු ලැබේ.

01. අභිචාරාත්මක අවධිය
02. ආගමික අවධිය
03. විද්‍යාත්මක අවධිය

ෆ්‍රේසර්ට අනුව අභිචාරාත්මක අවධිය හෙවත් මානව ජීවිතයේ ආරම්භක යුගය අභිචාර රජවූ අවධියයි. ස්වභාවික සිදුවීම් හරියාකාරයට තේරුම් ගැනීමට අවශ්‍ය බුද්ධිය එකල නොතිබූ නිසාම තමන් පාලනය කරන අධි භෞතික බලවේගයන් ඇති වූ බව ඔහුගේ විශ්වාසය විය. ෆ්‍රේසර්ගේ විශ්වාසය අනුව අභිචාර මුල්වරට මිනිසා අතරට පිවිසුණේ ඉන්පසුව බවයි.
අභිචාර හා සර් ජේමිස් ෆ්‍රේසර්(James Frazer)හැදූ මත මෙහිදී වැදගත්ය. හෙතෙම තම ගෝල්ඩන් බවුග් ’(Golden Bough) නම් ග්‍රන්ථය අභිචාරත් ආගමත් අතර වෙනස දකින බවයිය. ආගම නම් තමාන්ට වඩා බලවත් බලවේග පාලනය කිරීමයි. එසේ කරන්නේ යාඥාවෙන් හා පූජාවෙනි. ඒ බලවේග තමන්ගේ ජිවිතය පාලනය කරයි. අභිචාර නම් එවැනි ප්‍රාථමික ස්වභාවික නීතික්‍රියාවේ යෙදවීමය. මේ නීති දෙකක් හේ දුටුවේය.
ඉහත උපුටනය අනුව ආගම යනු බලවත් බලවේග පාලනය කිරීමක් ලෙස විස්තර වන්නේ ය. තවද මේ සඳහා විවිධ පූජා විධි හා යාඥා ක්‍රම භාවිත කරමින් තම මිනිසුන්ගේ ජීවිත බලවේග මඟින් ජීවිත පාලනය කරන බවත් මෙමඟින් විද්‍යාමාන වේ. තවද සමාජයේ ගුප්ත විද්‍යාව මඟින් මිනිසාට යම් බලපෑමක් ඇති කරවන බව ෆ්‍රේසර් තවදුරටත් පැහැදිලි කරනු ලැබේ.
ප්‍රධාන වශයෙන් ගත් කල අභිචාර සඳහා ආගම මූලික වී ඇති බවක් දක්නට ලැබේ.
අභිචාර හා ආගම අතර දැඩි සම්බන්ධතාවයක් පවතී. නූතන දියුණු සමාජයේ පවා ප්‍රධාන සමාජ සංස්ථාවක් ලෙස සමාජ විද්‍යාඥයන් හඳුන්වන ආගම බිහි වීමට අභිචාර හා සම්බන්ධ විශ්වාස හා භාවිතයන් පාදක වී ඇති බව බොහෝ විද්වතුන්ගේ මතය වී තිබේ.මේ පිළිබඳව අදහස් දැක්වූවන් අතර ඊ. බී. ටයිලර් E.B Tylor හා ජේ.ජී ෆ්‍රේසර් J.G Frazer යන මානව විද්‍යාඥයින් ප්‍රමුඛත්වයක් ගනිති. සර්වාත්මවාදය (Animism)  යන සංකල්පය අනුව විශ්වයේ සෑම දෙයකටම ආත්මයක්, ජීවයක් ඇතැයි ප්‍රාථමික මිනිසා කල්පනා කළ බව ටයිලර් සිය ප්‍රාථමික සංස්කෘතිය (Primitive Culture,1871)  නම් කෘතියෙහි දක්වයි. ඒ අනුව මිත්‍යා විශ්වාස හා අභිචාර ඇසුරු කරගත් නිර්වචනයක් ඔහු ආගම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබේ. එනම් ආගම යනු අධි භෞතික සත්ත්වයින් (ජීවින්) පිළිබඳ විශ්වාස පද්ධතියක්ලෙසය (දිසානායක,2010:12).
අභිචාර මඟින් මිනිස් සමාජය වෙනස් වූ ආකාරය ආචාර්ය උබේසේකර දිසානායකගේ අභිචාරකෘතියෙන් විද්‍යමාන වේ. එනම්, ආගම මුල් කරගෙන අභිචාර නිර්මාණය වූ ආකාරය පැහැදිළි වු අතර සමාජයේ මිනිසුන්ගේ මිත්‍යා විශ්වාස ව්‍යාප්ත වීම කෙරෙහි ආගම ප්‍රබල බලපෑමක් වූ බව මේ කෘතිය මඟින් විස්තර කර ඇත.ඊ.බී. ටයිලර් ඉදිරිපත් කරන ලද ප්‍රධාන සංකල්පයක් ලෙස සර්වාත්මවාදය මඟින් සෑම ජීවියෙක්ටම ආත්මයක් සහ ජීවයක් ඇති බව පැහැදිලි කරන ලදී. ආත්මය මුල් කරගෙන මිනිසුන් තුළ යම් යම් බලවේග නිර්මාණය වූවා යැයි ද ඒ මඟින් මනුෂය්‍ය ආත්මය වෙනස් වන බවත් ගම්‍ය වේ. මෙසේ බාහිර බලවේග මඟින් කුමන බලපෑමක් ඇති වන්නේ ද එයට පිළියම් කළ හැක්කේ කෙසේ ද යන්න ගුප්ත විද්‍යාව මඟින් කරුණු විග්‍රහ කෙරේ.

ගුප්ත විද්‍යාව බිහි වීමට ආගම බලපා ඇති ආකාරය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇත. ඍග්, යජුර්, යාම, අථර්වන් වේදයට අදාළ කරුණු මැනවින් හදාරන ලද බමුණෙකු හැඳින්වෙන්නේ තේවි- ජක බමුණෙකු ලෙසිනි. වේදය ගොඩ නැඟූ අට්ඨක, වාමක, වාමදේව, අංගීරස, වෙත්තාමිත්ත,යමතවග්ගී, භාරද්වාජ, වාසෙට්ඨ, කාශ්‍යප, භෘගු ආදී ඍෂිවරු මේ විද්‍යාවන් ත්‍රිවිද්‍යා හා අෂ්ට විද්‍යා ලෙසටත් දක්වා ඇත. පුබ්බේනිවාසානුස්සති, දිබ්බචක්ඛු හා ආසවක්‍ය ඥාන වශයෙන් ත්‍රිවිද්‍යාවද ඉද්දිවේද, දිබ්බසෝත, පරචිත්තවිජානන, ආසවක්ක්‍යය හා විපස්සනාඥාන මනෝමය ඉද්ධිඥාන එක්කොට ගුප්ත විද්‍යාව නිර්මාණය වී ඇති අතර මෙය කෙනෙකුට ක්ෂණිකව දිය හැක්කක් නොවේ. එනම් ධර්මය ප්‍රධාන ලෙස ගුප්ත විද්‍යාව ඇති වීමට ප්‍රබල පිටුවහලක් විය.
ෆ්‍රේසර් අභිචාර ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා දක්වා තිබේ. එනම්;
න්‍යායාත්මක
සිද්ධාන්තමය
වශයෙනි.
න්‍යායාත්මක අංශයේදී අභිචාර ව්‍යාජ විද්‍යාවක් ලෙසද ප්‍රායෝගික අංශයේදී ව්‍යාජ කලාවක් ලෙසද දැකගත හැකිය. ෆ්‍රේසර් විසින් ප්‍රායෝගික අංශය නැවත කොටස් දෙකකට කට බෙදා දක්වන අතර යන්ත්‍ර මත පදනම් කරගෙන සිදු කරන යාතු කර්ම ප්‍රතිජනනාත්මක අභිචාර ලෙසත් තහංචි මත ගොඩනැඟෙන අභිචාර නිශේධාත්මක අභිචාර ලෙසත් වර්ගීකරණය කරනු ලැබේ.

අභිචාර පිළිබඳ කෘත්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් උනන්දු වූ තවත් මානව විද්‍යාඥයෙකි බ්‍රොනිස්ලෝමැලිනොවුස්කි (Bronislow Malinowsky). ත්‍රෝබියන්දිවයින ආශ්‍රයෙන් කරන ලද අධ්‍යයනයක් තුළින් මැලිනොවුස්කි අභිචාර පිළිබඳ පුළුල් අදහසක් දක්වා ඇත. ඔහු අභිචාර ආගම තුළින් වෙනස් වන බව පවසයි. ආගම තුළින් සිදු වන්නේ මිනිස් පැවැත්මේ මූලික ගැටලු විසඳීමත් වන අතර අභිචාර තුළින් හැමවිටම කරනු ලබන්නේ විශේෂිත වූත් සවිස්තරාත්මක වූත් ප්‍රශ්න පිළිබඳ කථා කිරීමකි (අමරසේකර,2012).
ලෝකයේ සියලුම රටවල්වල අභිචාර දැකගත හැක අතර මැලිනොවුස්කි මේ පිළිබඳ පුළුල් මතවාද ඉදිරිපත් කර ඇත. මැලිනොවුස්කි මෙහිදී ආගමේ කාර්යභාරය හා අභිචාරවල ඇති වෙනස විග්‍රහ කර ඇත. මෙහිදී මැලිනොවුස්කි අභිචාර සම්බන්ධයෙන් කළ විග්‍රහයේදී දුරස්ථ බව පිළිබඳ න්‍යාය වැදගත් වනු ඇත. ඒ මඟින් මිනිසුන් බලාපොරොත්තු වන්නේ අභිචාර භාවිතය තුළින් පුද්ගලයින්ගේ සිතෙහි ඇති කණස්සල්ල හා නොසන්සුන්කම කැමති ආකාරයකට දුරු කිරීමයි. මෙය ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් අත්දැකීම් ලබා ගන්නා ලදී. මෙවැනි අවස්ථාවල බාහිර බලවේල හෝ අධි භෞතික බලවේග මඟින් පිහිට හෝ ආධාර ලබා ගැනීමට මානව ජීවීන් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම උත්සාහ දරා ඇති බව මොහු විසින් තවදුරටත් විග්‍රහ කරන ලදී.
මැලිනොවුස්කි සිය අභිචාර අධ්‍යයනයේදීඒවායේ වර්ගීකරණය කෙරෙහිද අවධානය යොමු කොට ඇත. මේ අනුව මැලිනොවුස්කි ප්‍රධාන අභිචාර වර්ග දෙකක් හඳුනාගෙන ඇත.ඒවා නම් සුදු අභිචාර සහ කළු අභිචාරයි (අමරසේකර,2012).

සුදු අභිචාර සෑම විටම සමාජයේ පිළිගත් අභිචාර ක්‍රමයන් වේ. සෙත් ශාන්ති වැනි මිනිසාට හිතකර අභිචාර විධි සුදු අභිචාරවලට අයත් වේ. සුදු අභිචාර මඟින් කිසිදු මනුෂ්‍ය ජීවිතයකට හානියක් නොවේ. මැලිනොවුස්කි සුදු අභිචාර කොටස් දෙකක් යටතේ හඳුන්වා ඇත. පුද්ගලයෙකුට තම ජිවිතය පිළිබඳ යම් බියක් හා චකිතයක් ඇති වූ විට ප්‍රයෝජනයට ගනු ලබන්නේ සුදු අභිචාරයන් ය. එය පළමු වර්ගයයි. දෙවන වර්ගය ලෙස මැලිනොවුස්කි පෙන්වා දෙන්නේ මන්ත්‍රකරුවන් පුදුම කරවනස්වරූපයකට හෝ ආශ්චර්යවත් ආකාරයට කෙනෙකු යම් කිසි ආකාරයකට පිහිටක් වන හෝ ගෙනදෙන අභිචාර ක්‍රමය වේ. කළු අභිචාර ලෙස හඳුන්වනු ලබන්නේ පුද්ගල හිංසා හා පිඩන ගෙන දෙන අභිචාර ක්‍රම වේ. මේ මගින් සමාජයට පිළිලයක් වන ස්වභාවයක් ගනි. සමාජ සාරධර්ම පිරිහිමකටලක් වනු ඇත. මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීමට මෙම අභිචාරක්‍රම භාවිත කරනු ලැබේ. තවද පීඩාකාරි ව්‍යසනයක් ගෙන දෙන අභිචාර ලෙස අනවිණ, හුනියම්, කොඩිවින ලෙස වර්ග කළ හැකිය. මෙම ක්‍රියාවල නිරතවන්නේහැම විටම භයානක මිනිසුන් වන අතර ඔවුන් තුළ මනුෂ්‍ය සාරධර්ම පිරිහි ඇති නිසාවෙනි.
අභිචාර පිළිබඳ අදහස් දක්වන ඊ.බී ටයිලර් (E.B Tylor) ඔහුගේ ''Savages" නම් කෘතිය තුළින් අභිචාර ව්‍යාජ විද්‍යාවක්වශයෙන් දක්වයි. (අමරසේකර,2012:168)
ගුප්ත විද්‍යාවට ලිඛිත ඉතිහාසයක් නොමැත. එය ඈත අතීතයේ සිටම පැවත එන්නක් ලෙස දැකගත හැකිය. එසේම ගුප්ත විද්‍යාව ප්‍රධාන ලෙස මිනිසුන්ගේ මනසේ ඇති වු බලවේගයක් ලෙස හඳුනාගත හැකි අතර ගුප්ත විද්‍යාව මෙයැයි කිම නිවරදි නොවේ. ඈත අතිතයේ සිටම විවිධ හදි, හුනියම් ක්‍රම මගින් මිනිසුන් පහළතත්වයට ඇද දැමීමටත් මන්ත්‍ර ශාස්ත්‍රය මගින් ජන ජීවිතය විනාශ කිරීමක් ලෙසත් හඳුනා ගත හැකිය.

බුද්ධ දේශනාවට අනුව ගුප්ත විද්‍යාව සිතන තරම් සරල දෙයක් නොවන බව පැහැදිලිය. මෙහිදි ප්‍රබල ගුප්ත විද්‍යාඥයෙක් ලෙස කටයුතු කිරීම නම් ඔහු අවම තරමේ පංචාභිඥ අෂ්ට සමාපත්තිලාභියෙකු විය යුතුය. නමුත් ගුප්ත විද්‍යා කටයුතු වල නිරතව සිටින්නේ ගුප්ත විද්‍යා දැනුමක් ලබා ගත් අය පමණක් වීම පරිහානියට හේතුවක් වේ.
ත්‍රිපිටකයේ පවා තොරතුරු සඳහන් වී ඇත්තේ ගුප්ත විද්‍යාව බුද්ධ කාලයේ පටන් තිබු බවයි. එය තිරස්තීන විද්‍යාවක් ලෙසට දක්වා තිබෙන්නේ මිත්‍යා ප්‍රලාප වු නිසා නොවේ.
බුද්ධකාලයේදි එක් භික්ෂු නමකට අමනුෂ්‍ය බාධකයක් වැළදුනි. ආචාර්යන් වහන්සේලාට එය සුව කල නොහැකි විය. එම භික්‍ෂුව අමනුෂ්‍ය වේෂයෙන් ඌරෙක් මරණ තැනට ගොස් අමු මස් කා ලේ බීමෙන් ආබාධය සුවවිය. බුදුරාජාණන් වහන්සේ එවැනි අවස්ථා වල එසේ කිරීම සුදුසු බව අනුදැන වදාළහ. එය සමස්ත ප්‍රාසාදිකාවේ සඳහන්ව ඇත. මෙවැනි යකුන් වැහුණු විට යකඳුරන් පිටියෙන් හෝ මැටියෙන් යක් රුව තනා අත් පා සදින බවත් හිස සිඳලුවහොත් යක්‍ෂයා මැරෙන බවත් එහිම සඳහන් වේ.
ඉහත කරුණු අනුව පෙනි යන්නේ ගුප්ත විද්‍යාව ඉන්දියාව තුළ ඉතා හොඳින් තිබු ආකාරය පිළිබඳවයි. එසේම විවිධ ලෙඩ රෝග සුව කිරීම සඳහා මෙම යන්ත්‍රමන්ත්‍ර භාජනය කළ හැකි බවත් ඒ මගින් මනා සුවයක් ලබා ගත් අයුරුත් තවද බුදු දහම මගින් එයට වටිනාකමක් හිමි කර  දුන් ආකරය ගැනත් ඉහතින් විස්තර කර ඇත. ගුප්ත සමාජයේ යකඳුරන් නැමැති මනුෂ්‍ය කොට්ඨාසයක් ජිවත් වු අතර ඔවුන් තුළින් පාරම්පරික ලෙස මෙම ගුප්ත විද්‍යාව හෙවත් යන්ත්‍ර මන්ත්‍ර, තොවිල්, ජොතිෂ්‍ය වැනි විද්‍යා ක්‍රම බිහි වු ආකාරය පිළිබඳවත් මනාව පැහැදිළි වේ.
අභිචාර හා ආගමපියවර දෙකක් ලෙස පරිනාමයේදි සැලකිය. අභිචාර යුගය කලින් ඇති විය. මුල්ම ඕස්ට්‍රේලියානු වනචාරීන් අභිචාර කටයුතු මිස ආගම ඇතිව ජිවත් වුයේ නැත. කල්යෑමේදි මෙම මුල්යුගවල අයට අභිචාරී කටයුතුවල අර්ථ ශූන්‍ය බව වැටහෙන්නට ඇත. අභිචාරී කටයුතු වලට වඩා  අධි ස්වභාවික බලවේග ලෝකයේ ඇති බව ඔව්හු පිළිගත්හ. එය සිදුවුයේ පරිනාමයේ නූතන අවධියේදි ස්වභාවික නීති  ඇතැයි පිළිගැනීමෙනි (රත්නපාල,2001)

මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ කෘතියේ මේ පිළිබඳ විස්තර කර ඇත. ඉන්දියාවේ මෙන්ම ඕස්ටේ්‍රලියාව වැනි රටවල් වල අභිචාර ක්‍රම තිබු බවට සාක්‍ෂි දරයි. තවද ඒ තුළින් මිනිසුන් මුල් කාලයේ සුවයක් හෙවත් මානසික සහනයක් ලබා දුන් බව විග්‍රහ කර ඇත. කල්යත්ම අධි ස්වභාවික බලවේග මිනිසුන් තුළට පැමිනීමත් සමඟ ඔවුන් අභිචාර වලින් ඈත් වු බවත් මෙහි දක්වා ඇත. අපට ගම්‍ය වන්නේ විවිධ රටවල් වල අතිතයේ අභිචාර විධි තිබු ආකාරයත්එය එක් එක් රටකට සීමා නොවුනු අතර අභිචාර ඇති වීමට එක් එක් ආගම් මගින් පෝෂණයක් ලැබු බවද විද්‍යාමාන වේ.
අපි මධ්‍යම අප්‍රිකාවේ අසාන්ඬේවරුන් දෙස බලමු. මේ අයගේ ජීවිතයේ හදිහූනියම් සාමාන්‍ය දෙයකි. යම්කිසි කාරණයකට පේන හේතුවක් නැති නම් ඒ කියන්නේ තහංචියක් හෝ බිඳහෙලීමක් වැනි ප්‍රකට හේතුවක් නැත්නම් එය හදිහූනියමකින් සිදුවුවකැයි කියැවේ(රත්නපාල,2001).
අප්‍රිකාවේ ගුප්ත විද්‍යා ක්‍රම ඉතා දියුණු ලෙස තිබු බව පැහැදිලය. තවද ඒ මිනිසුන් තුළ බොහෝ මිත්‍යා විශ්වාස එල්බගෙන තිබු බවත් ගම්‍ය වේ. ඉහත උපුටනයට අනුව පෙනි යන්නේ ඒ ප්‍රදේශයේ හදිහූනියම් සාමාන්‍ය දෙයක් යන්නයි. ඔවුන්ගේ ප්‍රබල මතයක් වුයේ යම් රෝගයක් හෝ වෙනත් ව්‍යාධියක් ඇති වු විට ඒ සඳහා පෙනෙන හේතුවක් නොමැති නම් යන්ත්‍ර මන්ත්‍ර ආශ්‍රයෙන් සිදු කරන්නක් බව පෙන්වා ඇත. ජිවිතය යන්ත්‍ර මන්ත්‍ර වලින් පුරවාගත් මිනිසුන් එකරාසී වී ඇති ග්‍රෝත්‍රික කණ්ඩායමක් ලෙස අසාන්ඬේ ග්‍රෝත්‍රිකයන්හඳුනාගත හැකිය.
ගෝත්‍රික සමාජ වල ප්‍රබල ලෙස ගුප්ත විද්‍යාව ව්‍යාප්ත වන බවත් එයට ප්‍රධාන වශයෙන්ම ඔවුන් තුළ ඇති කාර්යක්‍ෂමභාවය අවම වීමද බලපා ඇත. තවද දැඩි ආගමික එල්බ ගැනීමට මෙයට ප්‍රබල ලෙස බලපා තිබීමද සමාජයේ ඔවුන් පාරම්පරික වීමද ද හේතු වීය. ඔවුන්ගේ ප්‍රධාන ජිවනෝපාය ලෙසද යන්ත්‍ර මන්ත්‍ර කලාව ජනප්‍රිය වීමත් මගින් මෙය බිහි වු බව කිව හැකිය.
අතීතයේ ගුප්ත විද්‍යාවන් ඉතා ප්‍රබල තත්ත්වයක තිබු බව මෙම විස්තර වලින් පැහැදිලි වේ. තමා නොපෙනී සිටිමින් සතුරන් වැනසිය හැකි මන්ත්‍ර රාවනා විසින් භාවිතා කර ඇත. රෝග සුව කිරීම්, විෂ බැඳීම් හා කැපීම්, සොරුන් ඇල්ලීම් හා බරපතල දඬුවම් පැමිණවීම, යකුන් ප්‍රේතයන් බැඳගෙන වැඩ ගැනීම්, වින කිරීම හා බෙර රබන් පැලිම්, ආසන වලට අලවා තැබීම්,අංගම්, තාලම් ඉරි පැන්නුම්...
රාවනා රජ සමයේ පවා ගුප්ත විද්‍යා ක්‍රම පිළිගත් විද්‍යාවක් ලෙස පිළිගෙන ඇත. එන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මගින් විවිධ ව්‍යාධි තත්ත්වයක් ඇති කර බව අතීතය සාක්‍ෂි දරයි. විවිධ බලගතු මන්ත්‍ර ශාස්ත්‍රයක් තිබු බවට පෙනි යන කරුණු නම් යකුන් ප්‍රේතයන් බැඳගෙන වැඩ ගැනීම යනුවෙන් පෙන්වා ඇත. ඒ තරම් දියුණු ක්‍රම විද්‍යා කලාවක් තිබු බවත් විවිධ අනවිණ, කොඩිවින, හුනියම් මගින් මනුෂ්‍ය ජිවිත විනාශ කර දැමු අයුරුත් දැකගත හැකිය.

ලෝකයේ ගුප්ත ඉතිහාසය ගත් විට ඉහත කරුණු මගින් එය විකෘති වු ආකාරය පිළිබඳව විද්‍යාමාන වේ. මෙය ප්‍රධාන ලෙස ආගමික බලපෑමක් මගින් බිහි වුවක් වීම මගින් එක් එක් ආගම් අනුව අභිචාර විදි වල යම් යම් වෙනස්කම් දැකගත හැකිය. මූලික වශයෙන් ආගමික විකාශනය අභිචාර සඳහා බලපා ඇත යන්න ගම්‍ය වන්නේය.
ලංකාවේ ගුප්ත විද්‍යා ප්‍රභවය හා ඉතිහාසය ගත් විට එය ඈත අතීතය දක්වා ගමන් කරයි. රාම රාවනා කාලයේ සිට මෙය පැවතුනු බව පැරණි ග්‍රන්ත වල සඳහන් වේ. ලංකාවට මෙය විවිධ ආගම් සමඟ සංක්‍රමණ වු බව පෙන්වා දිය හැකිය. එනම් බුදු දහම මගින් අභිචාර ක්‍රම ව්‍යාප්ත වු අතර එසේම මුස්ලිම් වරුන් වෙළඳ ව්‍යාපාරිකයින් සමඟ බැලුවිට ඔවුන්ටම ආවේනික අභිචාර ක්‍රම ද ලංකාවට පැමිණවීම දැකගත හැකිය. තවද ඉන්දියාවෙන් භික්ෂුන් වහන්සේලා ලංකාවට සංක්‍රමණය වීමත් සමඟ ඉන්දියාවට ආවේනික වු අභිචාර ක්‍රම ලංකාව තුළ වර්ධනය විය. එසේ වර්ධනය වීමත් සමඟ ලංකාව තුළ අපට දැකගත හැකිවන්නේ බහු අභිචාර ක්‍රමවේ. බහු ආගමික රටක් වන ලංකාව තුළ බහු අභිචාර ක්‍රම නිසා විවිධ ගුප්ත විද්‍යා ක්‍රම වර්ධනය වීමක් ගම්‍යමාන වේ.
ශ්‍රී ලාංකික ගැමි සමාජය අධ්‍යයනය කළ ඊ.ආර්. ලිච්’ ගැමියා අලුතින් කුඹුරක් අස්වැද්දීමේදී ගමේ සියලු ගොවින් වනාන්තරයේ සුදුසු භූමි භාගයක් තෝරාගෙන එතනට රැස් වී දෙවියන්ට ආරාධනා කොට සුභ නැකතකට ගස් කපා වැඩ අරඹන බව ප්‍රකාශ කරයි (දිසානායක,2010)
අතීතයේ සිටම ලංකාව තුළඅභිචාර විධි තිබු බව සාහිත්‍ය විමර්ශනය මගින් පැහැදිලි වේ. එනම් යම් සුභ සිද්ධියක් කිරීමට පෙර නැකැත් සැදීම, වෙලාවල් බැලීම මගින් සුභ හෝරා මගින්ද බලාපොරොත්තු වන්නේ අවසානයේ යහපත් ප්‍රතිඵලයකි. තවද දෙවියන්ගේ ආරක්ෂාව මේ මගින් බලාපොරොත්තු වේ. අද කුඹුරක් වගා කරන විට හොඳ වේලාවක් බලා බීජ ඉසිම කරනු ලබන අතර මෙය පැරණි චාරිත්‍ර ක්‍රමයකි. ඒ මගින් පෙනි යන්නේ යාතු කර්ම මෙන්ම අභිචාර විධි අතීතයේ සිටම පැවත එන්නක් බවයි. මෙසේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත ඇති කිරීම මේ මගින් බලාපොරොත්තු වේ.
කෝට්ටේ රාජ්‍ය සමයේදි සිංහල බලි යාගයක් බිහි වන්නේ බෞද්ධ සභ්‍යත්වයක් මූලික කොටගෙන මෙතෙක් බලියේ පැවති බලි පූජා පිදේනි ඉවත් කරවමිනි. වීදාගම හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් බිහිවන බලිය වු කලි ලංකාවේ යාග කිරීම කෙරෙහි බෞද්ධ භික්ෂුන්ගේ අනුග්‍රහය නොමගව ලැබීම සම්බන්ධ කදිම නිදසුනකි. (ජිනදාස,2010)
ලාංකිය ජන සමාජය තුළ භාවිත වන තවත් එක් ගුප්ත විද්‍යා ක්‍රමයක් ලෙස බලි හඳුනාගත හැකිය.මෙම බලි කෝට්ටේ යුගයේ පවා දැකගත හැකි අතර මෙයට දිර්ඝ ඉතිහාසයක් ඇත. කෝට්ටේ යුගයේ මිනිසුන් තුළ මේ පිළිබඳ ඇදහීම දැකගත හැකිය. එසේම දැඩි එල්ඹ ගැනීමක් තිබුණේය. ලංකාව තුළයන්ත්‍ර මන්ත්‍ර මෙන්ම බලි යාග පන්සල් ආශ්‍රය කරගෙන බිහි වු බවක් මේ මගින් සනාථ වේ. පන්සල් තුළින් සමාන්‍ය ජනතාවට මෙය ලංකර දිම හා සුදානම මත මේ ගුප්ත විද්‍යා සියල්ල රඳා පවතින බවද ඒ මගින් ජන ජිවිතයට එක් කරන බව පෙන්වා දිය හැකිය.

ඈත අතීතයේ සිට ම යන්ත්‍ර ඇඳීම සහ ලිවීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කොට ඇත්තේ රත්තරන් තහඩු, රිදි තහඩු, තඹ තහඩු හා පුස්කොළ ය. ඊට අමතරව සුළු සුළු ශාන්තිකර්ම හා රෝග සුව කිරීම සඳහා කෙම් ක්‍රම භාවිතා කරමින් උළුවහු, යටලි ශාක පත්‍ර ආදියේ යන්ත්‍ර හා සමාන ජ්‍යාමිතික සටහන් අදිමින් ශාන්තියක් උදාකරගෙන ඇත. (රත්නායක, 2017)
මුල් යුගයේ යන්ත්‍ර මන්ත්‍ර කටපාඩම් මගින් පමණක් තිබු බවත් පසුව ඒවා විවිධ උපකරණ භාවිතා කරමින් විවිධ තහඩු මත ලිවීමක් සිදු විය. තවද ඒ මගින් යන්ත්‍ර ශාස්ත්‍රයක් ලිඛිත ලෙස බිහි වු අතර ඒ මගින් ලංකාව තුළ යන්ත්‍ර ශාස්ත්‍රය ජනප්‍රිය වීම හදුනාගත හැකිය. පුරාණ ලංකාවේ ජනයා පන්සල වටා කේන්ද්‍ර වු අතර ඒ නිසා බොහෝ විට අතීතයේ යාග කර්ම, මන්ත්‍ර කලාව පන්සල කේන්ද්‍ර කරගෙන බිහි විය.
ඉහත කරුණු අනුව බලන විට ලංකාව තුළ බහු යන්ත්‍ර මන්ත්‍ර කලාවක් දැකගත හැකිය. මෙසේ බහු යන්ත්‍ර කලාවක් බිහි වීම සඳහා දේශිය විදේශිය අක්‍රමණ මෙන්ම සංක්‍රමණ ප්‍රබල ලෙස බලපා ඇත. ගනුදෙනු මෙන්ම ජාත්‍යන්තර සබඳතා මගින්ද ලංකාව තුළ ගුප්ත කලාව බිහි වී ඇති බව කිව හැකිය.
පර්යේෂකයා මෙහිදි ප්‍රධාන ලෙස යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් දෙස අවධානය යොමු කිරිමට අපේක්ෂා කෙරේ. එසේම මෙම යන්ත්‍ර මන්ත්‍ර වල ඉතිහාසය මීට ඉහතදි සාකච්ඡා කළෙමු. යන්ත්‍ර යනු පත්‍රවල හෝ වෙනත් තඹ තහඩු වල ලියන ලද අක්‍ෂර ක්‍රමයක් වේ. මෙය කිරීමේදී ප්‍රධාන ලෙස එය කරනු ලබන යන්ත්‍රකරුවා පේවි සිටීම අනිවාර්ය වේ.

යන්ත්‍ර සකස් කිරීම සඳහා භාවිතා කරන්නේ රන්තහඩු, තඹ තහඩු සහ පුස්කොළ බව මෙහි ඉහත සඳහන් විය. එහෙත් ඒවා එක එක් කෙනාගේ හිතු මතයයට කරනු නොලැබේ. ඒ සඳහා සම්මත මිමි ඇත. ශාස්ත්‍රය පදනම් කරගත් එම මිමි ක්‍රම සම්ප්‍රදායක් සේ භාවිතයේ පවති (රත්නායක,2017)
යන්ත්‍රයක් සකස් කිරීමේදි පළමුව යන්ත්‍රකරුවා පේවීම සිදු කළ යුතු අතර යහපත් මනසකින් සිටිය යුතුය. එසේ නොවන විට සිදු වන්නේ උච්ඡාරණයේ යම් යම් අඩු පාඩු කම් වේ. තවද අදාළ පුද්ගළයා නිර්මාංශ විය යුතු අතර නියම ආකාරයට පුද පූජා කිරීම මගින් නියම ප්‍රතිඵල ලගා කරගත හැකිය. යන්ත්‍රයක් ජප කිරීමට ප්‍රථම එම ස්ථානය හා එම ස්ථානයේ සිටින සියලු දෙනාගේ කිළි දෝෂ අයින් කරගත යුතුය. ඒ සඳහා භාවිතා වන මන්ත්‍ර ලෙස,

            ඕං ත්‍රිෂ්ට්‍යා අසජ්ජ උරිංචි පොන්තාල් නමෝ ඒස්වා හ:   (රත්නායක,2017)

            යනමන්ත්‍රය භාවිත කළ යුතුය. ඒ මගින් සම්පූර්ණ පිරිසිදු වීමක් බලාපොරොත්තු වේ.
මන්ත්‍ර යනු එක්තරා නීති රීති සමුදායකට අනුකූලව නිපදවා ගන්නා ලද වචන එකතුවක් ලෙස හැඳින්වෙන අතර මතනහෙවත් මනස මෙහෙයවා කරන චින්තනය හා ව්‍යුක්ත වීම යන අර්ථය දෙන ත්‍රානයන කොටස් දෙකම එක් වීමෙන් සැඳි ඇත. අනුසාරයෙන් ගොඩ නගා ගන්නා ලැබු ඥානය මගින් සියලු බැඳිම් වලින් එනම් සංසාර බැඳීම් වලින් නිදහස් වීම වේ. සෑම මන්ත්‍රයකම යම් කිසි අරුතක් ගැබ්ව ඇත.
මන්ත්‍ර ප්‍රධාන කොටස් 03 කි.
1        පුරුෂ ලිංග මන්ත්‍ර                                                                                          
          මේවා පුරුෂ ලිංග දේවතාවන්ට අයත් වේ.
2        ස්ත්‍රි ලිංග මන්ත්‍ර                                                                                                                    මේවා ස්ත්‍රී දේවතාවන්ට අයත්ය. ස්වාහායන ශබ්දයෙන් අවසාන වේ.
3        නපුංශක ලිංග මන්ත්‍ර
          මේවා නමඃ යන ශබ්දයෙන් අවසන් වේ.
මන්ත්‍ර වලට අනුගත වු නිර්මාණ වු විවිධ පිළිවෙත් ගණනාවක් ඇත. ඒවා පහත දැක්වේ.
1        ගණ දෙවියන් පිදීම
2        මන්ත්‍ර කාර්යට වරම් ලබා ගැනීම.
3        අදාළමන්ත්‍ර දේවතා හෝ යක්‍ෂයා සිහි කොට කාර්ය සාධනය අපේක්‍ෂා කිරීම.
4        ඇදුරු ආරක්ෂාව සලසා ගැනීම.
5        නාම ජිවම සිදු කිරීම.
6        පුජා විධි සිදු කිරීම
7        දිෂ්ටි ලබා ගැනීම.
8        ජපය ආරම්භ කිරීම (රත්නායක,2012)
මන්ත්‍රයක් ජප කිරීමේදි අනෙක් යාතු කර්මවල මෙන් පිරිසිදු භාවය වැදගත් වේ. එනම් කිළිනොතිබිය යුතුය. කිළි ඇති විට මන්ත්‍රයේ ගුණ ප්‍රමාණාත්මක ලෙස ලබා ගත නොහැක.  මන්ත කාරක මත්පැන් හා මස් මාංශ වලින් තොර විය යුතුය. මේ සියල්ලෙන්ම වැළකි මන්ත්‍ර ජප කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වන අතර රෝග සුව කළ හැකි වේ.

            යන්ත්‍ර මන්ත්‍ර ගැන විග්‍රහ කරන විට ප්‍රධාන ලෙස හඳුනාගත හැකි කරුණක් වන්නේ අෂ්ට කර්ම වේ. මෙය බෙහෙවින් වැදගත් වන අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ප්‍රභේද 08 කින් යුක්ත වේ.
1ග     වශි කර්ම
2ග     ආකර්ශන කර්ම
3ග     මෝහන කර්මය
4ග     ස්ථම්භන කර්මය
5        ශාන්ති කර්මය
6        විද්වේශ කර්මය
7        උච්චාටන කර්මය
8        මාරණ කර්මය
යනාදියයි.

මේ සියලු යාතු කර්ම වලින් බලාපොරොත්තු වන්නේ යම් අමනුෂ්‍ය බලයක් නිසා ඇති වු රෝගාබාධ සුව කිරීමයි. එසේම ඒ මගින් යම් මානසික ශාන්තියක් බලාපොරොත්තු වන්නේය.
ගුප්ත විද්‍යාව වර්තමානය වන විට විශාල වශයෙන් සමාජගත වී ඇත. දිනෙන් දින එම විශ්වාසයන් වටා ජනතාව එක්වී ඇත. කෙම්මුර දිනයන්හිදී දේවාලයන්හි විශාල ජනතාවක් දැකගත හැකි බව දෙනගම උතුර පදිංචි ගුප්ත විද්‍යාචාර්ය ඇම්.ඩී ඩයස් හේමකීර්ති පවසයි. තාක්ෂණයෙහි දියුණුවත් සමඟ පසුගිය කාල වකවානුව වන විට ගුප්ත විද්‍යාව යම් ආකාරයක පසු බැසීමක් දැකගත හැකි වුවත් වර්තමානයෙහිදී තාක්ෂණය සමඟ බද්ධ වෙමින් ගුප්ත විද්‍යාව නව පියවර රාශියක් ඉදිරියට ගොස් ඇත. වර්තමානයෙහි පුවත්පත් මාධ්‍ය නිරීක්ෂණය කිරීමේදී ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පත්හි විශාල වශයෙන් ගුප්ත විද්‍යාව පිළිබඳව දැන්වීම් අඩංගුව ඇත. එහිදී තැපැල් මඟින් ගෙන්වා ගැනීම දක්වා අද ගුප්ත විද්‍යාව වර්ධනය වී ඇත. ඒ අතර නව මාධ්‍ය හා සම්බන්ධ වෙමින් ජ්‍යොතිෂ්‍ය කටයුතු විශාල වශයෙන් සිදුවේ. හඳහන් පරීක්ෂාව, පොරොන්දම් පරීක්ෂාව, නැකැත් සහ වෙනත් ගුප්ත විද්‍යාවන් නව මාධ්‍ය හරහා සිදුවීම හේතුවෙන් වඩා සක්‍රීය ලෙස මෙම කටයුතු වලට නැඹුරුවී ඇති ආකාරය හඳුනාගත හැකිය. නැකැත් බලා සුබ ගමනක් යාමද ආරම්භ කිරීමට මිනිසුන් අදටත් පෙළඹී ඇත්තේ මෙම ගුප්ත විද්‍යාවේ බලපෑම හේතුවෙනි.



ආශ්‍රිත ග්‍රන්ථ

අමරසේකර,දයා,2012.,සමකාලීන ශ්‍රී ලංකා සමාජය,වරකපොළ,ආරිය ප්‍රකාශකයෝ.
අමරසේකර,දයා,2016.,සමාජ විද්‍යාව සිද්ධාන්ත සහ විධික්‍රම,කොළඔ 10,ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
කහඳගමගේ,පියසේන,1995,.කෙතක මහිම-කෙම් පහන්,කොළඔ 10,ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
කෝට්ටගොඩ,ජිනදාස,1995,පහතරට ශාන්තිකර්ම සාහිත්‍යය,කොළඔ 11,දළුවත්ත ප්‍රින්ටර්ස්.
ජිනදාස,මනෝජ් පුෂ්ප කුමාර ඩබ්.ඩබ්,2010.,බලි සන්නිවේදනය,කොළඔ 10,ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
දිසානායක,උඹේසේකර,2010,.අභිචාර,වරකපොළ,ආරිය ප්‍රකාශකයෝ.
ධර්මදාස,කේ.එන්.ඕ,1998,.සිංහල විශ්වකෝෂය(9 වැනි කාණ්ඩය),සංස්කෘතික දෙපාර්තමේන්තුව.
රත්නපාල,නන්දසේන,2001,.මානව විද්‍යාව,වරකපොළ,ආරිය ප්‍රකාශකයෝ.
රත්නපාල,නන්දසේන,2012,.සමාජ විද්‍යා පර්යේෂණ මූලධර්ම,වරකපොළ,ආරිය ප්‍රකාශකයෝ.

රත්නායක,රුවන්,2017.,යන්ත්‍ර මන්ත්‍ර ගුරු අත්පොත 1,ජා-ඇල,සමන්ති පොත් ප්‍රකාශකයෝ.

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...